Print this page

ඇඳිරි නීතිය ලිහිල් කිරීම හා රමළාන් මාසයේ ඉතිරි දින කිහිපය සම්බන්ධ උපදෙස්

මැයි 06, 2020

ACJU/MED/2020/001

2020.05.06

ඇඳිරි නීතිය ලිහිල් කිරීම හා රමළාන් මාසයේ ඉතිරි දින කිහිපය සම්බන්ධ උපදෙස්

කෝවිඩ්-19 වසංගතයේ අවදානම තවමත් අප රටින් මුළුමනින්ම ඉවත් නොවී තිබුණ ද මහජන අවශ්‍යතාව තකා යම් කොන්දේසි හා උපදෙස් සහිතව පවතින ඇඳිරි නීතිය ලිහිල් කරන්නට රජය පියවර ගනිමින් සිටියි. මෙවන් තත්ත්වයක පුරවැසියන් ලෙසින් වගකීමෙන් යුතුව හා අපගේ මෙන්ම අන් අයගේද ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් ප‍්‍රවේශමින් අප කටයුතු කළ යුතුය. රජය විසින් නියම කරන උපදෙස් හා කි‍්‍රයාමාර්ග එලෙසින්ම අනුගමනය කළයුතු අතරම සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව විසින් දෙනු ලබන පහත කරුණුද සැලකිල්ලට ගනිමින් කටයුතු කරන මෙන් ලාංකික මුස්ලිම් ප‍්‍රජාවගෙන් අප ඉල්ලා සිටිමු.

  • රමළාන් මාසය උදා වන්නට දින කිහිපයකට පෙර අප විසින් ලබා දෙන ලද උපදෙස් අනුව ලාංකික මුස්ලිම් ජනයා කටයුතු කරමින් සිටීම ගැන සතුටු වන අතර ම සියලු ප්‍රජාවන්ගේ දෙළොව ජයග්‍රහණය වෙනුවෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ප්‍රාර්ථනා කරන්නෙමු. එම උපදෙස් ඉදිරි දින කිහිපයටත් එලෙසින්ම අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම සලාතය, කුර්ආන් පාරායනය, ප‍්‍රාර්ථනා ආදියෙහි වැඩි වැඩියෙන් නිරත විය යුතු යැයි ඉල්ලා සිටින්නෙමු.
  • කොරෝනා තර්ජනය තවමත් පහව ගොස් නොමැති හෙයින් රජය විසින් ඇඳිරි නීතිය පියවරෙන් පියවර ලිහිල් කළ ද අප ඉතාමත් ප‍්‍රවේශමෙන් කටයුතු කළ යුතුය. ඒ අනුව රජයට උපරිම සහය ලබා දෙමින් සෞඛ්‍ය අංශවල උපදෙස් අකුරටම පිළිපැදිය යුතුය. අපගේ හා පවුලේ අයගේ මෙන්ම රටේ ජනතාවගේද සෞඛ්‍යය ආරක්ෂාව තහවුරු වන්නේ අප සැම අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කළහොත් පමණි.
  • සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම කොරෝනා උවදුර තුරන් කිරීමේ එක් වැදගත් පියවරක් හෙයින් ඒ පිළිබඳ අප සැලකිල්ලෙන් කටයුතු කළ යුතුය. එමෙන්ම මුඛ ආවරණය (MASK) හා නිතර අත් සෝදා ගැනීම, අවශ්‍යතාවක් නොමැතිව නිවසින් පිටතට නොයෑම වැනි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුය. මෙවන් අවස්ථාවකදී ඉහත කී උපදෙස් පිළිපැදීම ඉස්ලාමීය හරය වන හෙයින් ඒ පිළිබදව මුස්ලිම්වරුන් ආදර්ශමත්ව කටයුතු කළ යුතුය.
  • රමළාන් ඊදුල් ෆිත්ර් උත්සව සමයෙහි භාණ්ඩ මිලදී ගැනීම සදහා කණ්ඩායම් වශයෙන් කඩසාප්පුවලට යාමෙන් අප මෙවර වැළකී මේ පිළිබදව රජය හා සෞඛ්‍ය අංශවල උපදෙස් නිසි අයුරින් පිළිපැදිය යුතුය. හැකි පමණින් අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසට ගෙන්වා ගැනීමේ සේවා (HOME DELIVERY SERVICE) හරහා මිල දී ගන්නට පියවර ගැනීම ආරක්ෂිතය.
  • රටේ වර්තමාන තත්ත්වය සැළකිල්ලට ගනිමින් අපගේ ඊදුල් ෆිත්ර් උත්සව කටයුතු හැකි පමණ චාම් අන්දමින් නිවසේ සාමාජිකයන් සමග පමණක් සීමා කරගත යුතුය. (ඉන්ෂා අල්ලාහ් ඊදුල් ෆිත්ර් උත්සවය සම්බන්ධ විස්තරාත්මක මගපෙන්වීම් එම දිනවලට අදාළව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව විසින් ලබා දෙනු ඇත.)
  • රටේ බොහෝ තැන්වල එක දිගටම ඇඳිරි නීතිය පනවා තිබුනු හෙයින් දෛනික ආදායම් ලබන ජීවනෝපාවල යෙදී සිටි බොහෝ අපගේ සහෝදර ලාංකිකයන් දැඩි ආර්ථික අසීරුතාවලට ලක්ව තිබීම හා මූලික අවශ්‍යතාවන් පවා සපුරා ගැනීමට නොහැකිව ලත වෙමින් සිටින බව කවුරුත් දන්නා කරුණකි. ඔවුනට කිසිදු භේදයකින් තොරව උදව් කිරිමට අප සියල්ලන්ම ඉදිරියට ආ යුතුයි. අපගේ ඊද් උත්සවය වෙනුවෙන් වැය කරන මුදල් උපරිමයෙන් සීමා කොට මෙවන් යහක්‍රියාවන්ට වැය කිරීම කාලෝචිතය.
  • මෙම සමයෙහි වැඩි වැඩියෙන් සදකා, සකාත් වැනි දන්දීම් මගින් අන් අයට පිහිට වන මෙන් හා සකාතුල් ෆිත්ර් දන්දීමද නිසි දිනවලට, ලැබීමට සුදුසුකම් ඇති සහෝදර සහෝදරියන්ට ලබා දීමට කටයුතු කළ යුතුය.
  • පෙරදීම වක්ෆ් මණ්ඩලය හා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ උපදෙස් මස්ජිද් පරිපාලකයින් විසින් අනුගමනය කළ යුතුය.
  • මස්ජිද්වලට සලාතය සඳහා රැස්වීමට පවා තහනමක් පවතින මෙම දිනවල අප පිරිස් වශයෙන් කිසිදු ස්ථානයක රැස්වීමෙන් වැළකී සිටිය යුතුය.

ඇඳිරි නීතිය ලිහිල් කළ ද අප ඉතාමත් අවධානයෙන් නිසි උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීම මගින් අපට හා අපගේ සමුහයාට ඇති විය හැකි අනවශ්‍ය ප‍්‍රශ්න වළකාගත හැකිය. ඉහත කී උපදෙස් සියලු මුස්ලිම් ජනයා අනුගමනය කරන මෙන් ද මෙම උවදුර ඉවත් කර ජන ජීවිතය යතා තත්ත්වයට නොපමාව පත් කර දෙන මෙන් මෙම ශුද්ධ වූ රමළාන් මාසයේ අල්ලාහ්ගෙන් අයැදින මෙන් ද සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ලාංකීය මුස්ලිම් ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටිමු.

 

 

අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

සැ: යු:

ඉහත කී මගපෙන්වීම් අසාන් නැමැති ඇරයුමට පසු යම් වේලාවක්  තෝරාගෙන මස්ජිද් ශබ්ද විකාශනය හරහා සමාජ ගත කිරීමට කටයුතු කරන මෙන් මස්ජිද් පරිපාලකයින්ගෙන් ඉල්ලා සිටින අතර මේවා ක්‍රියාත්මක කිරීමට සියලු දෙනා සහයෝගය දක්වන මෙන් අප ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

Last modified onබදාදා, 06 මැයි 2020 10:54