ACJU/FRL/2020/21-238
2020.11.06
1442.03.17
අවාසනාවකට දෙවන වරටත් කොරෝනා වසංගතය අප රටේ පැතිරෙන්නට පටන් ගෙන ඇත. මෙවර මෙය වඩාත් වේගයෙන් හා දරුණු ප්‍රභේදයකින් පැතිරෙන බව සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවති. තත්වය පාලනය කිරීමට රජයද විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනු අප දකින්නෙමු. රජයේ එම ක්‍රියාමාර්ග සාර්ථක වන්නට නම් ප්‍රජාවක් වශයෙන් අප සියලු දෙනාම පුර්ණ සහය රජයට ලබා දිය යුතුය.
ලොව සියලුම දේ සිදු වන්නේ අල්ලාහ්ගේ අභිමතය හා සැලැස්ම පරිදිය යනු මුස්ලිම්වරයෙකුගේ අචල විශ්වාසයයි. එමෙන්ම ලොව ඔහු පහළ කළ සෑම රෝගයකටම අදාල ඖෂධය හෙවත් ප්‍රතිකාරයද අල්ලාහ් පහළ කර ඇත යන්න ඉස්ලාමීය ස්ථාවරයයි. කිසිදු රෝගයක් එයට අදාල ප්‍රතිකාරය නොමැතිව අල්ලාහ් ලොවට පහළ කළේ නැත යනුවෙන් කාරුණික නබි මුහම්මද් (සල්) තුමන් පැවසුහ.
මෙම වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ඉස්ලාමීය කෝණයෙන් පහත මාර්ගෝපදේශ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව වෙත ලබාදෙයි:
1. ඇඳිරි නීතිය පනවා ඇති පෙදෙස්වල වාසය කරන්නන් එම නීතියට අනුව කටයුතු කළ යුතුයි. අත්‍යවශය අවශ්‍යතාවන් සඳහා මිස නිවසින් පිටතට යෑමෙන් වැළකී සිටිය යුතුය. රජය විසින් මෙවන් නීති පනවන්නේ අපගේම ආරක්ෂාව වෙනුවෙන් බව අප වටහා ගත යුතුය. (මේ සම්බන්ධව 2020.04.06 වන දින එළිදැක්වූ ප්‍රකාශය මෙම සබැඳිය තුළින් බලා ගත හැකිය: https://acju.lk/downloads-ta/download-posters-ta/file/244-2020-04-06-15-00-00)
2. බෝවන රෝගයක් තිබෙන පෙදෙසට ඇතුල් නොවන මෙන්ද එවන් පෙදෙසකින් වෙනත් පෙදෙසකට පිට නොවන මෙන්ද නබිතුමන් උපදෙස් කර ඇත. (මූලාශ්‍රය : සහීහුල් බුහාරි-5729 සහ සහීහුල් මුස්ලිම් 2219)
වසංගත රෝග සම්බන්ධ නවීන කාලීන සෞඛ්‍ය උපදෙස වන්නේද මෙයයි. ඒ අනුව මෙම උපදෙස පිළිපැදීම මුස්ලිම් අප සැමගේ ආගමික වගකීමක්ද වන්නේය.
3. මුඛ ආවරණය පැළඳීම, දෑත් නිතර සේදීම, එකිනෙකා අතර මීටරයක දුරක් පවත්වා ගැනීම වැනි සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අකුරටම අනුගමනය කළ යුතුය. බෝවන රෝග ඇත්තන් අන් අයගෙන් ඈත්ව සිටිය යුතු යැයි නබි (සල්) තුමන් උපදෙස් කළහ. (මූලාශ්‍රය : සහීහුල් බුහාරි 5771 සහ සහීහුල් මුස්ලිම් 2221)
4. කණ්ඩායම් වශයෙන් රැස්වීමෙන් වැළකී සිටිය යුතුය. තමාගේ හා අනුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිවසට වී සිටින්නා අල්ලාහ්ගේ මාර්ගයේ සිටින්නේය යනුවෙන් කාරුණික නබි මුහම්මද් (සල්) තුමන් පැවසුහ. ( මූලාශ්‍රය : මුස්නද් අහ්මද්)
5. කණ්ඩායම් වශයෙන් රැස්වීම වැළකීමේ අරමුණින් රජය විසින් පනවා ඇති රීතින් අනුව පස්වේල සලාතය මෙන්ම සිකුරාදා ජුමුආ සලාතය සඳහා මස්ජිදයට යාමට අපට අවසර නොමැත. එනමුත් එම සලාතයන් නිසි වේලාවට අප නිවසේ සිටම ඉටු කළ යුතුය. (මේ සම්බන්ධව 2020.05.09 එළිදැක්වූ ප්‍රකාශය මෙම සබැඳිය හරහා බලා ගත හැකිය: https://acju.lk/downloads-ta/download-posters-ta/file/261-2020-05-24-14-27-19
6. මස්ජිද් සම්බන්ධව රජය විසින් ලබා දී ඇති උපදෙස් සමග මස්ජිද්වල පරිපාලනය විසින් ලබා දී ඇති උපදෙස්ද පිළිපැදිය යුතුය. එමෙන්ම මෙම ව්‍යසනය දුරු වී යාමටද අප දේශයට හා ලෝවැස්සන් සියල්ලටද සෙත් පතා මසක කාලයක් දක්වා පස්වේල සලාතය සමග කුනූත් අන්නාසිලා පාරායණය කරන මෙන්ද සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ලාංකික මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. ඒසමගම ඉස්තිග්ෆාර්, උපවාසය, සදකා වැනි යහක්රියාද වැඩි කර ගත යුතුය. (කුනුත් අන්නාසිලා පිළිබඳ 2020.10.26 එළිදැක්වූ ප්‍රකාශය මෙම සබැඳිය හරහා බලා ගත හැකිය : https://acju.lk/news-ta/acju-news-ta/item/2005-covid-19
එසේම පහත දුආවද පාරායණය කළ යුතුය :
, اللّٰهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْبَرَصِ وَالْجُنُونِ وَالْجُذَامِ وَمِنْ سَيِّئِ الأَسْقَامِ ,
අරුත: ඕ අල්ලාහ්! සුදු කබර, උන්මාදය, ලාදුරු ඇතුලු දරුණු රෝගවලින් අප ආරක්ෂා කරන මෙන් ඔබගෙන් අයැද සිටිමු (අබුදාවුද් 1554)
7. ඉහත සඳහන් කරුණු ගැන ජනයා හට නිතර සිහිපත් කරන දෙන මෙන් ආලිම්වරුන්ගෙන් ඉල්ලා සිටිමු. අල්ලාහ් මෙවන් රෝගවලින් අප රට මෙන්ම මුළු ලොවම ආරක්ෂා කරත්වා. ආමීන්
අෂ්-ෂෙයික් එම්.එස්.එම් තාසිම්
සහකාර මහ ලේකම්
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
සැයු: ඉහත මාර්ගෝපදේශ පිළිබඳ දින තුනකට අනුමත පිළිවෙත් මගින් මුස්ලිම් ප්‍රජාව දැනුවත් කරන මෙන් ජම්ඉයියාවේ ශාඛා මෙන්ම මස්ජිද්වල පරිපාලනයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
30.10.2020 / 12.03.1442
සකල ලෝ වැසියන්ට ආශිර්වාදයක් ලෙසින් එවනු ලැබු නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කිරීමෙහි ලා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ඉමහත් සතුටට පත් වෙයි.
අරාබි ලිත අනුව රබීඋනිල් අව්වල් මාසය මානව සංහතියට අතිශය වැදගත්කමක් ඇති මාසයකි. මන්දයත් මිනිස් සමාජයට ඍජූ ජීවන මාර්ගයක් පෙන්වීම සඳහා ලොවට ආශිර්වාදයක් ලෙසින් අල්ලාහ් විසින් එවන ලද අවසාන වක්තෘ නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමන් ඉපදුනේ මෙම මාසයේ බැවිනි.
රබීඋන් යන අරාබි වචනයේ අරුත වසන්තය යන්නයි. වසන්ත ඍතුව පොළොවට හරිත හා සශ්‍රීක බව, අලංකාරය ගෙන දෙයි. එසේම, රබීඋනිල් අව්වල් මාසයෙහි නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමන් ඉපිද මිනිස් වර්ගයාට අභිවෘද්ධිය, විමුක්තිය, සාමය, සතුට හා සැනසීම ගෙන දෙන අංග සම්පුර්ණ ජීවන ක්‍රමයක් දායාද කළේය.
මුහම්මද් නබි තුමාණන්ව හැඟීම් සහගතව සිහිකරන්නා වූ මෙම උතුම් දිනයේ වත්මන් ලොවට අවශ්‍ය කරන මානව දයාව, සානුකම්පාව, පරාර්ථකාමය හා සංහිඳියාව යන ගුණාංග නගා සිටුවීමේ හැකියාව එතුමන් ගෙන ආ සාමයේ පණිවිඩයට සත්‍යය ලෙසින් හැකිවනු ඇත.
මෙම උතුම් දිනයේදී මුස්ලිම්වරුන් විවිධ වූ යහකර්මයන්හි නියැලීම සිරිතකි. එමනිසා අප සියලුම දෙනා එකිනෙකා අතර ඇත්තා වූ අවබෝධයෙන්, සාමුහික එකමුතුභාවයෙන් යුතුව සහෝදරත්වයෙන් බැඳී අන් අයගේ හැඟීම්වලට ගරු කරමින් කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
කොවිඞ් වසංගතය හේතුවෙන් අපගේ දේශයේ බොහෝමයක් ජනයා ආර්ථික තත්වයෙන් දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටින අවස්ථාවක මෙම උතුම් දිනයේදී අවශ්‍යතා ඇත්තා වූ ජනයා හට ජාති ආගම් භේදයකින් තොරව අතහිත දෙමින් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. තවද, භයානක වූ මෙම කොරෝනා වසංගතය අප දේශයෙන් පමණක් නොව මුළු මහත් ලෝකයෙන්ම ඉක්මණින් තුරන් වී සැමට සමෘද්ධිමත් ජීවිතයක් උදා වීමට ප්රාර්ථනාවන්හි නිරත වන මෙන්ද සැමගෙන් ඉල්ලා සිටින්නෙමු.
අපගේ මාතෘභූමියෙහි සාමය, ශාන්තිය හා ජනකොටස් අතර සුහදත්වය පැවතිය යුතු යැයි මෙම විශේෂ දිනයෙහි අප අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්නෙමු.
මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
2020.10.27
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවෙහි හිටපු සභාපති සහ වත්මන් මහලේකම් අෂ්-ෂෙයික් උස්තාද් මුබාරක් (ගෆූරී, මදනී) තුමාණන්ගේ අභාවය පිළිබඳ පුවත අපගේ දැඩි කනස්සල්ල ඇති කරන්නකි.
එතුමන් වර්ෂ 1991 සිට 2003 දක්වා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවෙහි ගෞරවනීය සභාපති ලෙස සේවය කර ඇත. තවද වර්ෂ 2003 සිට 2010 දක්වා නියෝජ්‍ය සභාපති වශයෙන් ද 2010 පටන් අද දින අවසන් ගමන යන තෙක් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවෙහි ගෞරවනීය මහලේකම් වශයෙන්ද අපගේ සභාවට මඟ පෙන්වූ ශේෂ්ඨ විද්වතෙකි. වසර 33 ක් පමණ තමා අධ්‍යාපනය ලැබූ ගෆූරියා අරාබි විද්‍යාලයේ විදුහල්පති ලෙසත්, ජාමියා නලීමියා කලා පීඨයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙසත් සේවය කර ඇති අතර, තම ජීවිතයේ බොහෝ කාලය අධ්‍යාපනය හා දහමේ අභිවෘද්ධිය සඳහා කැපකර ඇත.
එතුමන් රටේ සුප්‍රසිද්ධ ඉස්ලාමීය දේශකයෙක් හා ලේඛකයෙකි. එතුමන්ගේ අභාවය පිළිබද පුවත මේ රටේ මුස්ලිම්වරුන්ට සහ රටේ ජනතාවට විශාල පාඩුවක් ගෙන දෙන්නකි. එතුමන්ගේ පවුලේ උදවිය, ඥාතීන් සහ ශිෂ්‍යයින් සියලු දෙනාට අපගේ ශෝකය සහ කණගාටුව පළ කර සිටින්නෙමු.
සර්වබලධාරී අල්ලාහ්, එතුමන්ට පාපක්ෂමාව ලබා දී ජන්නතුල් ෆිර්දවුස් නම් ස්වර්ගය පිරිනමත්වා.
සටහන : කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා තිබෙන නිසා ජනාසාවට සහභාගී වීමට නොහැකි උදවිය, එතුමන් වෙනුවෙන් දුආ ප්රාර්ථනාවන්හි නියැළෙන ලෙසත් ගාඉබ් (غائب) වන ජනාසා සලාතයෙහි නිරත වන ලෙසත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ඉල්ලා සිටියි.
අෂ්-ෂෙයික් මුෆ්ති එම්. අයි. එම්. රිස්වි
ගරු සභාපති,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU)
Ref : ACJU / GEN / 2020/025
2020.09.10 / 1442.01.21
ඊයේ දිනයේ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන්
2020.09.09 බදාදා, එනම් ඊයේ දිනයේ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවෙහි සිදුවූ සිද්ධිය පිළිබඳව අපගේ දැඩි අප්‍රසාදය හා කනස්සල්ල පළ කර සිටිමු.
එහිදී සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නියෝජනය කරමින් සහභාගී වූ සහකාර මහලේකම් අෂ්-ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද් තුමන් පිළිබදව මාධ්‍යයෙහි පල වූ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදීමක් ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ හදිසි රැස්වීමක් අද පෙ.ව. 10.30 ට අප ප්‍රධාන කාර්යාලයෙහි පැවැත් විණි. එහිදී සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ව්‍යවස්ථාවට අනුකූලව සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලදී.
මෙම අවස්ථාවේ දී, අෂ්-ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද් තුමන් තම විමර්ශන කටයුතු අවසන් වන තුරු තමා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සහකාර මහලේකම් ධූරයෙන් ඉවත් වන බව ලිඛිතව දැනුම් දී තිබේ. සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ද ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගත් බව මෙයින් දන්වා සිටිමු.
අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසිම්
සහකාර මහලේකම්
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
Ref: ACJU/GEN/2020/022
2020.08.11
අපගේ මාතෘභූමියේ සංවර්ධනයට අප සැම එක් වෙමු
පසුගිය මහමැතිවරණයෙහි අති විශිෂ්ට ජයක් වාර්තා කර ඇති අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් සහ ගරු ආග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිඳුන්ටත් එමෙන්ම ජයග්‍රාහී රජය වෙනුවෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්ව සිටින මැති ඇමතිවරුන්ටත් අපගේ හෘදයාංගම සුබපැතුම් ප්‍රකාශ කර සිටිමු.
අතිශය අසීරු කාලවකවානුවක ඡන්දයක් පවත්වා තිබීම ජාතියක් හැටියට අපේ කැපවීම හා හැකියාව මෙන් අප සැම ප්‍රජාතාන්ත්‍රික අගයන්වලට දක්වන ගරුත්වය විදහා පායි. මෙමගින් අප රටේ ඇත්තේ මුහුකුරා ගිය ප්රජාතන්ත්රවාදයක්ය යන කරුණ නැවතත් සනාථ වී ඇත.
එමෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් තොර එකිනෙකාට දොස් පවරා ගන්නා ප්රවණතාවලින් ඈත්ව මෙවර ඡන්දය සාමකාමීව නිදහස් වාතාවරණයක පැවත්වීමට සියල්ලන්ම දායක වී තිබීම ශ්‍රී ලාංකිකයන් ලෙසින් අප සැමට සතුට ගෙන දෙයි.
මෙම රජය මත අසීමිත විශ්වාසයක් බහුතරයක් ජනතාව තබා ඇති බව ඡන්ද ප්‍රතිඵලවලින් තහුවරු වෙයි. එමෙන්ම ජයග්‍රහණය සමග වගකීම් ද එන බව බලයේ සිටින්නන් අමතක නොකළ යුතුය. මෙම අභිනව රජය ප්‍රජාතාන්ත්‍රික රාමුවක් තුළ පිහිටා කටයුතු කරමින් ජාතික ආරක්ෂාව හා සාමය එක්සත් බව තහවුරු කරමින් ආර්ථික සමෘද්ධිය කරා රට ගෙන යනු ඇත යැයි අප සැම උදෙක් බලාපොරොත්තු වෙමු.
දේශය සංවර්ධනය කිරීම උදෙසා රජය විසින් ගනු ලබන සියලූම යහපත් හා ඵලදායී පියවර සියල්ල වෙනුවෙන්ම විපක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ මෙන්ම ආගම් භාෂා වැනි සියලූ විවිධත්ව අන්‍යෝන්‍යව අගයන අතරම ලාංකිකයන් සේ සියල්ලන්ම එක්ව රජයට සහය පළ කළ යුතුය.
අපගේ මව්බිමට තිරසාර සාමයක් හා සෞභාග්‍යයක් ළගා කර දෙන මෙන් ද අප සැම සියලූම අතුරු ආපදා හා වසංගතවලින් රැකගන්නා මෙන් ද සර්ව බලධාරී අල්ලාහ්ගෙන් අයැද සිටිමු.
අෂ් ෂෙයික් එම්.ඒ.එම්. මුර්ෂිද්
සහකාර මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව.
ACJU/MED/2020/008
10.07.2020 (18.11.1441)
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවට එරෙහිව කරන ලද ව්‍යාජ චෝදනා ප්‍රතික්ෂේප කිරීම
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවෙහි (ACJU) ප්‍රතිරූපය අපකීර්තියට පත් කිරීම සඳහා සාවද්‍ය තොරතුරු ප්රචාරක ව්‍යාපාරයක් මේ වන විට සිදු වෙමින් පවතින බව වර්තමානයේ මාධ්‍යවල පළ වන වාර්තා අප සභාවේ අවධානයට ලක් වී තිබේ.
මෙමගින් පාස්කු ඉරිදා ප්‍රහාරය සහ තවත් කරුණු කිහිපයක් සමඟ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU) වැරදි ලෙස සම්බන්ධ කරමින් මහජනතාව නොමඟ යවන තොරතුරු හිතාමතාම පතුරුවා හරිමින් ඔවුන්ගේ හැඟීම් ඇවිස්සවීමේ කාර්යයක නිරත වෙමින් පවති.
එවැනි වගකීම් විරහිත හැසිරීම් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU) දැඩි ලෙස හෙළා දකින අතර වැරදි තොරතුරු පතුරුවා හැරීමේ වංක ක්‍රියාකාරකම්වල යෙදෙන මෙවැනි ව්‍යාපාර පිළිබඳව ප්‍රවේශම් වන ලෙස අප සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අෂ් ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද්
සහකාර ලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU)
2020.07.06
16.11.1441
සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව කීවේ නැත
පසුගිය සතියේ දෙහිවල පිහිටි සම්පත් බැංකු ශාඛාවකදී සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සිය කනස්සල්ල පළ කරයි. මෙවන් සිදුවීම් අදාළ පාර්ශවකරුවන් සමග සුහදව විසදා ගැනීම සුදුසුම ක්‍රියාමාර්ගය වේ.
මෙම සිද්ධියෙන් පසු සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි පැවසූ බව ප්‍රචාරයන් පැතිරෙමින් තිබෙයි. මෙය සහමුලින්ම අසත්‍යය ප්‍රචාරයක් බව රටේ ජනතාවට අප සභාව වගකීමෙන් යුතුව දන්වා සිටියි.
මෙරට මුස්ලිම්වරුන්ගේ පැරණිතම සංවිධානයක නම භාවිත කරමින් ව්‍යාජ ප්‍රචාරයන් කරන අයගෙන් ප්‍රවේශම් වන මෙන් ද, අප සභාව පිළිබඳ ප්රවෘත්ති පළ වූ විට ඒවා www.acju.lk යන නිල වෙබ් අඩවිය තුළින් සනාථ කර ගන්නා මෙන් ද, අප සභාව රටේ ජනතාවගෙන් ආදරයෙන් ඉල්ලා සිටියි.
අෂ් ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද්
සහකාර ලේකම්,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
ACJU/MED/2020/005
23.05.2020 / 29.09.1441
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ රමළාන් උත්සව පණිවි
ඩයකෝවිඩ්-19 වසංගතය පවතින අර්බුදකාරි තත්ත්වයක පුරා මාසයක් උපවාසශිලයේ හා යහක්රියාවන් වල යෙදී අද දින රමළාන් උත්සවය සමරන මුස්ලිම් ජනයාට සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ රමළාන් උත්සව සුබපැතුම දන්වා සිටියි. තවද අප යෙදුනු උපවාසශීලය ඇතුලූ සියලූ යහකි‍්‍රයා අල්ලාහ් පිළිගනිත්වා යැයිද ප්‍රාර්ථනා කරමු.
කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ පියවර ලෙසින් ආරක්ෂක හා සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති මාර්ගෝපදේශ පිළිපැදිය යුතුව තිබෙන හෙයින්, පසුගිය වසරවල මෙන් නොව මෙවර අප රමළාන් උත්සවය ඉතා චාම් ආකාරයෙන් සමරමු. තවද එම නිර්දේශවලට අනුව අප මෙවර සැමරීම අපගේ නිවසට පමණක් සීමා කරමු. එමෙන්ම අප රට ඇතුලූ මුළු ලොවටම ඇති වී තිබෙන මෙම ව්‍යසනය ඉවත් වන මෙන්ද අප සැම මෙම උවදුරෙන් ආරක්ෂා කරන මෙන්ද සර්වබලධාරී අල්ලාහ්ගෙන් අප අයැද සිටිමු. මෙම ව්‍යසනය ලොවින් තුරන් කරන්නට අප සැම එක්ව හා සහයෝගයෙන් මෙන්ම තිර අධිෂ්ඨානයෙන් කටයුතු කරන්නට අවශ්‍ය ඉවසීම හා චිත්ත ධෛර්යය අපට ලබා දී ආශීර්වාද කරන මෙන් ලාංකික මුස්ලිම් අප සැම අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළ යුතුය.
මෙම උතුම් දිනයේ ඉස්ලාමීය මගපෙන්වීම් නිසි අයුරින් අනුගමනය කරමින් මුළු ලොවම හා අප මාතෘභුමිය මෙම වසංගතයෙන් ආරක්ෂා වීමට අප සියල්ලන්ම සර්වබලධාරි අල්ලාහ්ගෙන් අයැද සිටිමු.
එමෙන්ම මෙම දුර්භීක්ෂයෙන් අපගේ දේශය ගලවා ගැනීමට අව්, වැසි, දිවා, රාති‍්‍ර නොබලා කැපවීමෙන් කටයුතු කරන රාජ්‍ය නිළධාරීන්, සෞඛ්‍ය අංශයේ නිළධාරීන්ට ද පොලිස් නිළධාරීන් හා ති‍්‍රවිද හමුදාවට ද අපගේ හෘදයාංගම ස්තූතිය මෙම රමළාන් උත්සව දිනයෙහි සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ප්‍රකාශ කර සිටියි.
අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසිම්
සහකාර ලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
ACJU/MED/2020/004
22.05.2020 / 28.09.1441
මාලිගාවත්ත සිදුවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ හෙළා දැකීම
කොවිඩ්-19 ආසාදන ව්‍යාප්තියෙන් මහජන ආරක්ෂාව සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ. රටේ සෞඛ්‍ය අමාත්‍යංශය, ආරක්ෂක අංශය, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව පෙරදීම නිකුත් කොට ඇති මගපෙන්වීම් අනුගමනය නොකොට ඊයේ දිනයේ (21.05.2020 / 27.09.1441) ඇති වූ සිදුවීම සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව තරයේ හෙළා දකියි.
මෙම සිදුවීමෙන් මියගිය අයට උසස් ස්වර්ගය හිමි විය යුතු හා තුවාලකරුවන් වහාම සුවය ලැබිය යුතු යැයි සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සර්ව බලධාරී අල්ලාහ්ගෙන් අයැද සිටියි. දුගී දුප්පත් ජනයාට ආධාර සහ සහන ලබාදීමේ කටයුතු සඳහා අදාළ බලධාරීන්ගේ අනුමැතිය ඇතිව නිසි නීතීන් අනුගමනය කරමින් කටයුතු කරන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව පෙරදීම උපදෙස් දී ඇති හෙයින් මෙවැනි සිදුවීම් ඇති වී තිබීම දැඩි කනස්සල්ලට හේතුවකි.
ඉතා අසීරු වතාවරණයක් තුළ දුප්පතුන්ට උපකාර කිරීම පිළිබඳව කිසිවෙකුටත් කිසිඳු මතභේදයක් තිබිය නොහැක. නමුත්, එවැනි ආධාර සහ සහන ලබාදීම් සිදු කිරීමේදී රටේ නීතිය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කළ යුතුය.
මෙලෙස ආධාර සහ සහන ලබාදීමේ කටයුතුවල නියැලෙන්නන් රජයේ මාර්ගෝපදේශ සම්පූර්ණයෙන් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නැවත වරක් කරුණාවෙන් ඉල්ලා සිටියි.
වස්සලාම්.
අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසිම්
සහකාර ලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව