ACJU/GEN/01-18/001

2018.01.22/ 1439.05.04

පළාත් සභා මැතිවරණය : ඡන්ද දායකයින් හා ඡන්ද අපේක්‍ෂකයින් දැනගැනීම පිණිස

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ මග පෙන්වීම

පළාත් සභා මැතිවරණය ආසන්න වෙමින් පවතියි. මැතිවරණ පිටියද දිනෙන්  දින උණුසුම් වෙමින් තිබේ. මෙවන් තත්ත්වයක ඡන්ද දායකයින් මෙන්ම ඡන්ද අපේක්‍ෂකයින් විසින්ද අනුගමනය කළ යුතු ආචාර ධර්ම ගැන පැහැදිලි කිරීම අපගේ වගකීමක් යැයි අප විශ්වාස කරමු. සියල්ලට ප‍්‍රථම රටේ දියුණුව වෙනුවෙන් සිදු කරන දායකත්වයක් ලෙසින් මැතිවරණ සියල්ල අප බැලිය යුතුය යැයි සඳහන් කරන්නට කැමැත්තෙමු.

අපගේ මව්බිමේ සාරධර්ම මුල් කරගත් දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට හා යහපාලනයක් සඳහා වන අස්තිවාරමක් යෙදීමට සහය දැක්වීම පිණිස ලැබී ඇති අගනා අවස්ථාවක් යැයි එළඹෙන පළාත් සභා ඡන්ද විමසීම විස්තර කළහොත් එය නිවැරදි යැයි අප සිතමු.

මැතිවරණයකදී ඡන්දය ප‍්‍රකාශ කිරීම යනු ‘නිර්දේශ කිරීම’ හෙවත් ‘ෂෆාඅත්’ යැයි ඉස්ලාමීය කෝණයෙන් නිර්වචනය කරනු ලබන කි‍්‍රයාවකි. එමෙන්ම ‘වකාලත්’ හෙවත් ‘වගකීම භාර දීම’ ලෙසින්ද මෙය හැඳින්විය හැකිය. මේ සියල්ලට වඩා මෙය ඉස්ලාමීය කෝණයෙන් ‘ෂහාදත්’ නම් වන සාක්‍ෂි දැරීමකි. නුසුදුසු පුද්ගලයෙකු හෙවත් අපේක්‍ෂකයෙකු වෙනුවෙන් ඡන්දය ප‍්‍රකාශ කිරීම අසත්‍ය සාක්‍ෂි කීමට සමාන වරදක් වනු ඇත. එය අසත්‍ය සාක්ෂියක් නොවී සත්‍යය සාක්ෂියක් වීමට පහත කරුණු වෙත ඡන්ද දායකයින් සිය අවධානය යොමු කළ යුතුය :

  • වංචාව, දූෂණය හා සම්බන්ධ නොවුනු, පාපකාරී අන්දමින් හා වැරදි මාර්ගවලින් ධනය නොඉපයූ යහචර්යා ඇති යහපත් ඡන්ද අපේක්‍ෂකයින්ට පමණක් අපගේ ඡන්දය ලබා දිය යුතුය.
  • ඡන්ද අපේක්‍ෂකයින් රටට ආදරය කරන, සමාජ යහපත ගැන සිතන හා රට ගොඩ නැගිය යුතුය යැයි අවංකව සිතන මෙන්ම එයට හැකියාව හා දැනුම ඇති ඡන්ද අපේක්‍ෂකයන් යන්න තහවුරු කර ගත යුතුය.
  • දේශපාලනය හා තනතුරු යනු පුද්ගලික ආදායම දියුණු කිරීමේ මාර්ගයක් ලෙසින් නොබලා දේශපාලනය යනු උසස් සමාජ මෙහෙවරක් හා සත්කාරයක් ලෙස දකින සේවා මානසිකත්වයක් ඇති දැන උගත් යහපත් අපේක්‍ෂකයින්ට පමණක් අපගේ වටිනා ඡන්දය ලබා දිය යුතුය.
  • රටේ නීතිය උල්ලංඝනය කරනවුන් හා නීති විරෝධි, එමෙන්ම මැර ක‍්‍රියාවල යෙදෙන්නන් අප එකහෙළා පිටු දැකිය යුතුය.
  • ජාති හා ආගම් භේද උසිගන්වන ආකාරයෙන් සිය ඡන්ද ව්‍යාපාරය ගෙන යන අපේක්‍ෂකයින්ට ඡන්දය ලබා නොදිය යුතුය.
  • තමන්ගේ දේශපාලන ප‍්‍රතිවාදීන් හා වෙනත් පක්‍ෂවලට පරුෂ බසින් බැන වදින නොමනා ආකාරයෙන් විවේචනය කරන ඡන්ද අපේක්‍ෂකයන් පිටු දැකිය යුතුය.

කෙටියෙන් කිවහොත් අපගේ ඡන්දය ලබා දිය යුත්තේ යහපත් චර්යා ඇති උගත් නැණවත් හා හැකියාව ඇති හා රටේ පොදු යහපත ගැන සිතන අපේක්‍ෂකයින්ටය.

පහත කරුණ වෙත ඡන්ද අපේක්‍ෂකයින් සිය අවධානය යොමු කළ යුතුය :

  • අපගේ මාතෘ භූමිය වන ශ‍්‍රී ලංකාවේ යහපාලනයක් ඇති විය යුතුය, සියලුම ජන කොටස් එක්සත්ව සාමයෙන් සමගියෙන් වාසය කළ යුතුය, රට සෑම අංශයකින්ම සුඛිත මුදිත විය යුතුය, සංවර්ධන මාර්ගයේ ගමන් කළ යුතුය යන්න ඡන්ද අපේක්‍ෂකයින්ගේ ඒකායන අපේක්‍ෂාව විය යුතු අතර ඔවුන් යහපාලන ආකල්පය විෂයයෙහි රටට හොඳ ආදර්ශයක් විය යුතුය යැයි අප අපේක්ෂා කරන්නෙමු.
  • දේශපාලන තනතුරක් යනු වාසනාවක් හෝ වාසියක් හෝ නොමනා ලෙසින් මුදල් ඉපැයීමට ලැබුනු බලපත‍්‍රයක් හෝ නොව. එය ජනතා සේවය සඳහා වන අගනා අවස්ථාවක් යැයි අපේක්‍ෂකයින් සිතිය යුතුය. පුද්ගලික ජීවිතයේ මෙන්ම පොදු දිවියෙහිද ආධ්‍යාත්මක සදාචාරාත්මක සිල්වත් බව, යහචර්යාව, අවංක බව ආදිය තමන් සතු වීම ගැන ඡන්ද අපේක්‍ෂකයින් සැලකිලිමත් විය යුතුය.
  • චාම් බව, කැපවීම, ත්‍යාගශීලී වීම වැනි උසස් ගුණාංගවලින් හා ක‍්‍රියාවන්වලින් ඉස්ලාමයේ හා මුස්ලිම් සමාජයාගේ සාක්ෂිකරුවන් වශයෙන් ඡන්ද අපේක්‍ෂකයින් හා දායකයින් පත්විය යුතු යැයි අපි අපේක්ෂා කරන්නෙමු.
  • වැරදි හා අපරාධ කි‍්‍රයාවල නොයෙදෙන නීතිගරුක පුද්ගලයන් වන අතරම සිය තනතුර හෝ බලය අපයෝජනය කරන්නන් නොවිය යුතුය. එමෙන්ම වෛරය, ද්වේෂය හෝ ප‍්‍රචණ්ඩත්වය උසි ගන්වන්නන් ඡන්ද ලබා ගැනීම හෝ අනෙකුත් පුද්ගලික වාසි තකා ජනකොටස් භේද කරන්නන් බවට ඡන්ද අපේක්‍ෂකයින් පත් නොවිය යුතුය.
  • කිසි විටෙක සාමාන්‍යය පුද්ගලයින්ට හෝ ජනකොටස්වලට අසාධාරණයක් සිදුවන ආකාරයෙන් කටයුතු නොකරන්නේ යැයි වගකිව යුත්තෙකු විය යුතුයි.
  • තමන්ගේ ජනකොටසේ අයිතිවාසිකම් ගැන කථාකරන විට වුවද එය අන් ජනකොටස්වල හැඟීම්වල හානි ඇති කරන ආකාරයෙන් සිදු නොකර විනීත බස් වහරෙන් හා ශ්‍රේෂ්ඨ සම්පන්න ලෙසින්ම සිදු කළ යුතුය.

 

අවසාන වශයෙන් සියලුම අවස්ථාවල හා තත්ත්වයන්හි අල්ලාහ්ට බියබැතිව කටයුතු කිරීමට අප සියල්ලන්වම අල්ලාහ් සෘජු මග ගමන් කරවා අපගේ යහකි‍්‍රයා සියල්ල පිළිගනිත්වා.

 

 

අෂ් ෂෙයික් ඒ. සී. අගාර් මුහම්මද්

නියෝජ්‍ය සභාපති / දේශපාලන අංශය භාර ප‍්‍රධානි

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා