Super User

Super User

යොමු අංකය : ACJU/NGS/2022/253

2022 අගෝස්තු මස 03 වෙනිදා

 

පසුගිය කාලයේ අප රටේ ඇති වූ දේශපාලන හා ආර්ථික අර්බුදය නිසා මෙරට ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව මාස ගණනාවක් තිස්සේ දේශපාලන ක්‍රමය වෙනස් කර ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණ කළෝය. එහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන වෙනස්කම් කිහිපයක් සිදු වී ඇතත් රටේ ජනතාව තවත් බොහෝ වෙනස්කම් අපේක්ෂා කරන අතර ආර්ථික අර්බුදයට නිසි විසඳුමක් නොලැබීම නිසා තවදුරටත් අරගල කරති.

මෙහිදී විරෝධතාවට සක්‍රීයව සම්බන්ධ වූවන් අසාධාරණ ලෙස ඉලක්ක කර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙරට බෞද්ධ හා ක්‍රිස්තියානි ඇතුළු සියලු ආගමික නායකයින්, නීතීඥවරුන්, විශේෂ වෛද්‍යවරුන්, සිවිල් හා සමාජ සංවිධාන රැසක් ඇතුළු විදේශීය මානව හිමිකම් සංවිධාන ද සිය අප්‍රසාදය හා විරෝධය පළ කර තිබීම අවධානයට ලක් කළ යුතු කරුණකි.

මේ වන විට අප රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර ආධාර සහ සහයෝගය ඉතා අවශ්‍යයව පවතී. එවැනි අවස්ථාවක රාජ්‍ය බලධාරීන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී අගයන්ට පටහැනි වන අයුරින් ක්‍රියා කිරීම නිසා ජාත්‍යන්තර සහයෝගය සහ ආධාර අපට අහිමි විය හැක.

එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී අගයන් සහ ජාත්‍යන්තරව පිළිගත් මූලික මානව හිමිකම් රැකගෙන යුක්තිගරුකව හා සාධාරණව ක්‍රියා කර මෙම අරගලයට හේතු වී ඇති සියලු ගැටලු කඩිනමින් විසඳා දෙන ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ මෙරට වගකිවයුත්තන්ගෙන් නිහතමානීව ඉල්ලා සිටී.

අප රටේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය කඩිනමින් ඉවත්වී අප මාතෘභූමිය හා මුළු ලෝකයම සෞභාග්‍යමත්ව අභිවෘද්ධිමත්ව බැබළේවා’යි ප්‍රාර්ථනා කරන අතර මෙරටෙහි යුක්තිය හා සාධාරණත්වය ඉටුවේවායි ශුද්ධවූ මෙම මුහර්රම් මාසයේ සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු.

 

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

යොමු අංකය : ACJU/NGS/2022/250

2022 අගෝස්තු මස 02 වෙනිදා (1444.01.03)

  

وَاَنْفِقُوْا فِىْ سَبِيْلِ اللّٰهِ وَلَا تُلْقُوْا بِاَيْدِيْكُمْ اِلَى التَّهْلُكَةِ وَاَحْسِنُوْا ۚ اِنَّ اللّٰهَ يُحِبُّ الْمُحْسِنِيْنَ

“නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ වියපැහැදම් කරවු. නුඹලාගේ දෑත් විනාශය කරා නොදමවු. තවද යහපත කරවු. සැබැවින්ම අල්ලාහ් යහපත කරන්නන්ව ප්‍රිය කරන්නේය.” (මූලාශ්‍රය : අල්-කුර්ආනය, 2:195)

عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال : ( قال الله : أَنْفِق يا ابن آدم أُنْفِق عليك ) رواه البخاري ومسلم

“ආදම්ගේ පුතණුවනි! (මිනිසුනේ! අන් අය වෙනුවෙන්) වියදම් කරන්න. මම ඔබ වෙනුවෙන් වියදම් කරන්නෙමි’ යනුවෙන් සර්වබලධාරී අල්ලාහ් පවසන බව නබි මුහම්මද් (සල්) තුමාණෝ පැවසුවේය. (මූලාශ්‍රය : බුහාරි, මුස්ලිම්)

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ පසුගිය දින කිහිපයක පටන් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට ගංවතුර සහ නායයෑම්හි බලපෑම් එල්ල වී තිබීම අපි දනිමු. මෙවන් තත්ත්වයක් තුළ, විපතට පත් ජනතාවට අපට හැකි අන්දමින් උපකාර කිරීම සර්වබලධාරී අල්ලාහ්ගේ තෘප්තිය සහ ආරක්ෂාව අපට හිමිවීමට හේතුවක් වනු ඇත.

එබැවින් මෙම ශුද්ධ වූ මුහර්රම් මාසයේ දී, එම ප්‍රදේශවල පිහිටි අප ප්‍රාදේශීය ශාඛා සහ මස්ජිද් පරිපාලකයින් හරහා විපතට පත් ජනතාවට සහන ලබා දෙන ලෙස ධනවතුන් සහ බලපෑමට ලක් නොවූ ප්‍රදේශවල සිටින සියලු ජනයාගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම මුල්‍ය දායකත්වයක් ලබාදීමට කැමති අය කොළඹ දිස්ත්‍රික් මස්ජිද් සම්මේලනය හෝ මහනුවර දිස්ත්‍රික් මස්ජිද් සම්මේලනය සහ අප නුවර දිස්ත්‍රික් ශාඛාව අමතා තම ප්‍රදේශවලට ආධාර කරන ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව කාරුණිකව ඉල්ලා සිටී.

වැඩි විස්තර සඳහා අප සභාවේ සමාජ සේවා අංශය : සම්බන්ධීකාරක - අෂ්-ෂෙයික් එම්.එච්.එම් ෆවාස් 0777-571876

 

 

මුෆ්ති එම්.අයි.එම්. රිස්වි

සභාපති,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

යොමු අංකය: ACJU/NGS/2022/249

2022 අගෝස්තු 01 වෙනිදා (1444.01.02)

 

අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහූ

දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විවිධ බලපෑම් එල්ල වී දෛනික ජන ජීවිතයට දැඩි දුෂ්කරතා ඇති වී තිබේ. මෙම වර්ෂාව හේතුවෙන් ස්ථාන රැසක ගංවතුර ආපදා ඇති වී ඇති අතර හදිසි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.

මෙහිදී විපතට පත්වූවන්ට හැකිතාක් උපකාර කරන ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව එම ප්‍රදේශවාසී ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. එමෙන්ම මෙම වර්ෂාවෙන් ඇති වන අනතුරුවලින් සහ එයින් ඇති වන දුෂ්කරතාවලින් තමන් ආරක්ෂා කර දෙන ලෙසත්, දුෂ්කරතාවන්ට පත්වන ජනතාවට ආශිර්වාද කරන ලෙසත් සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන මෙන් අප සභාව මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම ගංවතුර, නාය යෑම් වැනි විපත් ඇතිවීමට ඉඩ ඇති ස්ථානවල ජනතාව රජය ලබා දෙන උපදෙස්වලට අවනත වන ලෙසත්, එවැනි අවස්ථාවලදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ආගමික විද්වතුන් අදාළ ප්‍රදේශවල ජනතාවට මඟ පෙන්වමින් පහත දූආ ප්‍රාර්ථනාව පාරායනය කර සර්ව බලධාරී අල්ලාහ්ගෙන් පිහිට පැතීමට යොමු කරවන ලෙසත් අප සභාව කාරුණකව ඉල්ලා සිටී.

 

අධික වර්ෂාවක් ඇදහැලෙන විට පාරායනය කළ යුතු දුආ ප්‍රාර්ථනය:

اللهم حَوَالَيْنَا، ولا علينا، اللهم على الآكام والظِّرَاب وبطون الأودية، ومنابت الشجر

“යා අල්ලාහ්, අපගේ වටපිටාවට මෙම වර්ෂාව පතිත කරනු මැනව. අපට හානියක් වන අයුරින් පත් නොකරනු මැනව! යා අල්ලාහ්, සානු, කඳු, ඇළ දොළ, කෙත්වලට මෙම වර්ෂාව පතිත කරනු මැනව!” (මූලාශ්‍රය : බුහාරි 1013)

 

සුළඟ වේගයෙන් හමන විට පාරායනය කළ යුතු දුආ ප්‍රාර්ථනය:

اللهُمَّ إِنِّي أَسْأَلُكَ خَيْرَهَا، وَخَيْرَ مَا فِيهَا، وَخَيْرَ مَا أُرْسِلَتْ بِهِ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّهَا، وَشَرِّ مَا فِيهَا، وَشَرِّ مَا أُرْسِلَتْ بِهِ

“යා අල්ලාහ්, මේ සුළඟේ යහපත සහ එහි ගැබ් වී ඇති යහපත සහ එය සමඟ එවන ලද යහපත මම නුඹෙන් ඉල්ලා සිටිමි. තවද මෙම සුළඟේ නපුරෙන් සහ එහි ගැබ් වී ඇති නපුරෙන් සහ එය සමඟ එවන ලද නපුරෙන් මම ආරක්ෂාව පතමි." (මූලාශ්‍රය: මුස්ලිම් 899)

සර්ව බලධාරී අල්ලාහ්, අපහට යහපත් කාලගුණයක් උදාකොට සියලු අනතුරු වලින් ආරක්ෂා කරත්වා!

 

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

ACJU/NGS/2022/243
2021 අගෝස්තු මස 10 වෙනිදා/1442.12.30


“සර්වබලධාරී අල්ලාහ්! මෙම නවසඳ සමග අභිවෘද්ධිමත් බව, විශ්වාසය, ඉස්ලාමය සහ සාමය අපට උදා කරනු මැනව! මාගේ සහ (නවසඳ වන) ඔබගේ ස්වාමියා සර්වබලධාරී අල්ලාහ් ය”


අප රටේ පවතින සියලු අර්බුදකාරී තත්ත්වයන් දුරු වී සියලු ජනතාව සතුටින් හා සමෘද්ධිමත් ලෙස ජීවත් වීමට මෙම හිජ්රි 1444 ඉස්ලාමීය නව වසරේ අල්ලාහ් අප සැමට ආශිර්වාද කරත්වා!


අල්-කුර්ආනය සහ නබිපිළවෙත් පදනම් කරගනිමින් ඉස්ලාමීය හිජ්රි දින දර්ශනය කාලානුක්‍රමිකව භාවිත කරන අතර එතුළින් මුස්ලිම්වරුන්ගේ ජීවිතයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මුස්ලිම්වරුන්ට අනිවාර්ය වූ ප්‍රධාන වන්දනාමාන අතුරින් වාර්ෂික සකාත් දන්දීම, උපවාසශීලය සහ හජ් වන්දනය වැනි ආගමික වතාවත් ඉටු කිරීම සඳහාද මෙය අත්‍යාවශ්‍ය කරුණක් වේ.


හිජ්රි දින දර්ශනය යනු ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයයි. එය චන්ද්‍ර මාස දොළහකින් සමන්විත වන අතර සෑම මසකම නවසඳ බලා එය තීරණය වේ. එනම්; මුහර්රම් (පළමු මාසය), සෆර්, රබීඋනිල් අව්වල්, රබීඋනිල් ආකිර්, ජුමාදල් ඌලා, ජුමාදල් ආකිරා, රජබ්, ෂඃබාන්, රමළාන්, ෂව්වාල්, දුල් කඃදා, දුල් හිජ්ජා.


සර්වබලධාරී අල්ලාහ්, අල්-කුර්ආනයේ මෙසේ පවසයි: “අහස් හා මිහිතලය මැවූ දින (සිට) අල්ලාහ්ගේ (ආරක්ෂිත) ලේඛනයෙහි ඇති පරිදි සැබැවින්ම අල්ලාහ් අබියස මාස ගණන මාස දොළොහකි.” (පරිච්ඡේදය: අත්-තව්බා, වාක්‍යය: 36)


ඉස්ලාමීය හිජ්රි දින දර්ශනයට අනුව මාසයක් යනු දින 29 කින් හෝ දින 30 කින් සමන්විත විය හැකිය. මේ අනුව, වසරකට දින 354 ක් හෝ 355 ක් තිබිය හැකිය. ඉස්ලාමීය හිජ්රි දින දර්ශනයේ අවුරුද්දක දින ගණන ග්‍රෙගෝරියානු සූර්ය දින දර්ශනයේ දින ගණනට වඩා දින දහයක් හෝ එකොළහක් අඩුව දැකිය හැකිය. ඉස්ලාමීය හිජ්රි දින දර්ශනය ශුද්ධ මාස හතරක් සහිත මාස දොළහක චන්ද්‍ර දින දර්ශනයක් පමණක් නොවන අතර එය මුස්ලිම්වරුන්ගේ අනන්‍යතාව ගෙන දෙන විෂයක්ද වන්නේය.


නව හිජ්රි වර්ෂයේ නව උදාව තුළින් නබි මුහම්මද් (සල්) තුමාණෝ මදීනා දේශය වෙත සංක්‍රමණය කිරීම සිහිපත් කෙරෙන අතර එහි මුළු ලෝකයට ආදර්ශයක් වශයෙන් පිහිටුවන ලද මදීනා ප්‍රඥප්තිය අපට සිහිපත් කර දෙයි. එය සහජීවනය, යහපැවැත්ම, යුක්තිය, සාධාරණත්වය, දේශප්‍රේමය යන සෑම අංශයක්ම මූර්තිමත් කරන අතරම වර්තමාන ශ්‍රී ලාංකික හා ගෝලීය පැවැත්මට අදාළ කරුණු ඉදිරිපත් කරන ව්‍යවස්ථාවකි.


සර්වබලධාරි අල්ලාහ්, උදාවූ මෙම හිජ්රි 1444 නව අවුරුදු උදාවේ අපගේ දේශය තුළ සහ ගෝලීය වශයෙන් සාමය හා සමගිය වර්ධනය කර, විශේෂයෙන්ම අපේ රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය ඉක්මණින් දුරු කරත්වායි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ප්‍රාර්ථනා කරයි.

 

මුෆ්ති එම්.අයි.එම්.රිස්වි
සභාපති
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව


අෂ්-ෂෙයික්, එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

ACJU/NGS/2022/246

2022.07.29 (29.12.1443)

 

මනුෂ්‍ය ජීවිතය අර්ථවත් හා අලංකාර කිරීම සඳහා සර්ව බලධාරී අල්ලාහ් විසින් මිනිසාහට විවිධ සබඳතා ඇති කර දී ඇත. සබඳතා යනු මිනිස් ජීවිතයේ උල්පතයි. එවැනි සබඳතාවලදී මිත්‍රත්වය ඉතා වැදගත් ස්ථානයක් ගනියි. මිත්‍රත්වය, ස්නේහය ආදී ගුණාංග සැමවිටම සමීප ආත්මීය බැඳීමක් ඇති කරයි. එය අපගේ ළමා කාලයේ සිට මහලු විය දක්වා ජීවිතයේ සෑම සමයකදීම අඛණ්ඩව පවතී.

 

මිත්‍රත්වය අගය කිරීම යනු ඊමාන් නැමැති දේව විශ්වාසයේ ඉතා උසස් අංගයකි. සර්ව බලධාරී අල්ලාහ් වෙනුවෙන් යමෙකුට ආදරය කරන විට අපගේ දේව විශ්වාසය පරිපූර්ණ වේ. එය අප ස්වර්ගයට ඇතුළු වීමට හේතුවක් වනු ඇත.

 

නබි මුහම්මද් (සල්) තුමාණෝ පවසා ඇත. "ඔබ දේව විශ්වාසය ඇති කර ගන්නා තුරු ස්වර්ගයට ඇතුළු නොවනු ඇත. ඔබ එකිනෙකාට ආදරය නොකරන තුරු ඔබ දේව විශ්වාසය ඇති නොකරනු ඇත. ඔබලා අතර ආදරයක් ඇති වන විෂයක් මම ඔබට දන්වන්නද? ඔබ අතර සලාමය නැමැති සුබ පැතුම පතුරවන්න." (මූලාශ්‍රය: සහීහ් මුස්ලිම්)

 

තවද නබි මුහම්මද් (සල්) තුමාණෝ පැවසූහ. “සෙවණක් නොමැති මහ්ෂර් පිටියේදී සර්ව බලධාරී අල්ලාහ් විසින් තම අර්ෂයෙහි සෙවනැල්ල මිනිසුන් හත් දෙනෙකුට ලබා දෙයි. ඔවුනතරින්, අල්ලාහ් වෙනුවෙන් එකතු වී අල්ලාහ් වෙනුවෙන් වෙන් වන මිතුරන් දෙදෙනෙක් වෙති.” (මූලාශ්‍රය: සහීහ් අල්-බුහාරි)

 

මිත්‍රත්වය යනු අපගේ ජීවිතයට ධනාත්මක හා ඍණාත්මක බලපෑමක් ඇති කරන විෂයකි. හොඳ මිතුරෙක් සඳහා කස්තුරි වෙළෙන්දෙකු සහ නරක මිතුරෙක් සඳහා කම්මල් කරුවෙකු උදාහරණ ලෙස නබි මුහම්මද් (සල්) තුමාණෝ ගෙනහැර පෙන්වූහ.

 

එබැවින් හොඳ මිතුරන් තෝරා ගැනීම, සර්ව බලධාරී අල්ලාහ් වෙනුවෙන් ඔවුන්ට ආදරය කිරීම, අපගේ ආදරය ඔවුන්ට ප්‍රකාශ කිරීම, ඔවුන් සමඟ නිරන්තර මිත්‍රත්වය සහ යහපත් දේ සඳහා ඔවුන්ට සහාය වීම අත්‍යාවශ්‍ය වේ.

 

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර මිත්‍රත්ව දිනය ලෙස ජූලි 30 වෙනිදා හඳුන්වා දී ඇත්තේ වර්ග, ආගම් හා සංස්කෘතීන් යන කරුණු තුළින් අන්තර්ජාතික මිත්‍රත්වය සහ ඒකාග්‍රතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බව මෙහි සඳහන් කළ යුත්තකි.

 

අපි මිත්‍රත්වයේ යහගුණ පුරුදු වෙමින් සර්ව බලධාරී අල්ලාහ් අපට යහපත් මිතුරන්ගේ ඇසුර ලබා දෙන ලෙස ප්‍රාර්ථනා කරමු.

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

2022.07.23 දින සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ යෞවන කටයුතු අංශය විසින් සංවිධානය කරන ලද අධ්යාත්මික සහ වෘත්තීය මාර්ගෝපදේශන පුහුණු පාඨමාලාවක් මස්කෙළිය මුස්ලිම් පාසලේදී පැවැත්විණි. මෙම අවස්ථාවට සිසුන් 38 දෙනෙකු සහභාගී වූ අතර සම්පත් දායකයින් ලෙස සහෝදර රම්සි (සම්බන්ධීකාරක - යෞවන කටයුතු අංශය) සහ අෂ්-ෂෙයික් සල්මාන් තුමා (සම්බන්ධීකාරක - එකමුතු හා සහජීවනය සඳහා වූ කමිටුව) සහභාගී විය.

2022.07.23 දින සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ යෞවන කටයුතු අංශය විසින් සංවිධානය කරන ලද යෞවන උපදේශකයින් (YOUTH MENTORS) සඳහා පුහුණු පාඨමාලාවක් බගවන්තලාව ජුම්මා මස්ජිදයෙහි පැවැත්විණි. මෙම අවස්ථාවට යෞවන උපදේශකයින් 14 දෙනෙකු සහභාගී වූ අතර සම්පත් දායකයින් ලෙස සහෝදර රම්සි (සම්බන්ධීකාරක - යෞවන කටයුතු අංශය) සහ අෂ්-ෂෙයික් සල්මාන් තුමා (සම්බන්ධීකාරක - එකමුතු හා සහජීවනය සඳහා වූ කමිටුව) සහභාගී විය.

 

2022.07.22 දින, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ යෞවන කටයුතු අංශය විසින් සංවිධානය කරන ලද මස්ජිද් පරිපාලකයින් සඳහා යෞවන කටයුතු අංශයේ සේවාවන් හඳුන්වාදීමේ වැඩසටහනක් දික්ඔය ජුමුආ මස්ජිදයේ හා හැටන් ජුමුආ මස්ජිදයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට සම්පත් දායකයින් ලෙස සහෝදර රම්සි (සම්බන්ධීකාරක - යෞවන කටයුතු අංශය) සහ අෂ්-ෂෙයික් සල්මාන් තුමා (සම්බන්ධීකාරක - එකමුතු හා සහජීවනය සඳහා වූ කමිටුව) සහභාගී විය.

ඉන්ධන හිඟය, අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම, විදුලි කප්පාදුව වැනි විවිධ ගැටලු නිසා තම දෛනික අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකිව අපේ රටේ ජනතාව මාස 1 ½ කට වැඩි කාලයක් පුරා ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමී අරගලයක නියැලෙමින් සිටියි.

මේ සියලු අරගල ජාති, ආගම්, පක්‍ෂ භේදයකින් තොරව රටේ ඵලදායි දේශපාලන වෙනසක් වෙනුවෙන් සියලු ජනතාව විසින් දියත් කරන බව කවුරුත් දන්නා කරුණකි. මෙම සන්දර්භය තුළ, මෙම සාමකාමී අරගලය වාර්ගික ගැටුමක් බවට පත් කිරීමට විවිධ පිරිස් දැඩි උත්සාහයක යෙදී සිටින බව සඳහන් කිරීම වඩාත් වේදනාකාරී ය.

මෙය මෙරට බෞද්ධ නායකයින්ට හා බුදු දහමට එරෙහිව මුස්ලිම් සහ ක්‍රිස්තියානි ජනයාගේ ඒකාබද්ධ අරගලයක් බවට ඇතැම් පිරිස් සිතා මතාම සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරමින් සිටින බව දැකගත හැකියි. එබැවින් මේ සම්බන්ධයෙන් ඉතා විමසිලිමත් වන ලෙසත් ආගමික නායකයින්, ප්‍රභූවරුන් සහ අදාළ බලධාරීන් මේ සම්බන්ධයෙන් කඩිනම් සහ අවශ්‍ය පියවර ගන්නා ලෙසත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ඉල්ලා සිටියි.

පසුගිය 09 වැනිදා සාමකාමී අරගලකරුවන්ට එරෙහිව එල්ල වූ ප්‍රහාර සහ ඉන් අනතුරුව සිදු වූ දීපව්‍යාප්ත ප්‍රහාර සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් අප සභාව තරයේ හෙළාදකින අතර මෙරට ජනතාවගේ හැඟීම්වලට සහ ඉල්ලීම්වලට ගරු කරමින් දේශපාලන ස්ථාවරයක් ඇති කරමින් ආර්ථික අර්බුදයට විසදුම් ලබා දීමට කටයුතු කරන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටී.

රටේ නීතියට ගරු කරමින් ආරක්‍ෂක අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත්, ප්‍රචණ්ඩත්වයට පත් නොවී සන්සුන්ව හා සාමකාමීව ගමන් කරන ලෙසත්, රට තුළ සාමය සහ සෞභාග්‍යය ගොඩනැගීමට කඩිනමින් සහය වන ලෙසත් අප සභාව සමස්ත ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

මෙම අර්බුදකාරී අවස්ථාවේදී ජනතාව සන්සුන් කරමින් යහපත් ජාතියක් ගොඩනැගීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සියලු ආගමික නායකයින්ගෙන් නිහතමානීව ඉල්ලා සිටියි.