අනුස්මරණ දිනය සහ ඉදිරියට කළ යුතු දේ

2019 මැයි මස 22

අනුස්මරණ දිනය සහ ඉදිරියට කළ යුතු දේ

2019 අප්‍රේල් මස 21 වන දින අප කිසිවෙකුට අමතක කළ නොහැකි දිනයකි. පල්ලිවල ආගමික වතාවත්වල යෙදී සිටි කතෝලික බැතිමතුන් හා හෝටල් කිහිපයක උදේ ආහාර ගනිමින් සිටි අහිංසකයන් සිය ගණනක් කුරිරු ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව ඝාතනය වුයේ මෙම දිනයේය. මෙම අමානුෂික ඝාතන පෙළ සිදු කළ කුරිරු පුද්ගලයන් කිහිප දෙනා ‘මුස්ලිම්’ යැයි තමන්ව හඳුන්වා ගත් හෙයින් මෙය සම්බන්ධව, කවදත් සාමය අගයන ලාංකික මුස්ලිම් ප්‍රජාවට ඇති වුයේ දැඩි අසීරුතාවක් හා දැරිය නොහැකි කම්පාවකි. ඒ අනුව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය නොහොත් ජම්යියතුල් උලමා සම්මේලනය ප්‍රමුඛ මුළු මහත් ලාංකික මුස්ලිම් ජනයා සිය සංවේගය හා කණගාටුව නැවතත් ප්‍රකාශ කර සිටිති.

අයි.එස්. ත්‍රස්ත කල්ලිය බිහි වු පසු 2014 වසරෙහි ලොව සියල්ලන්ටම ප්‍රථමයෙන් එය හෙළා දුටු ආගමික සංවිධානය වුයේ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනයයි. එවක පටන් එම බිහිසුණු ත්‍රස්ත කල්ලියේ අමානුෂික ක්‍රියාකාරකම් විටින් විට දැඩි දෝෂාරෝපණයට ලක් කරමින් ඔවුන්ගේ ක්‍රියා සහ ඉස්ලාම් ධර්මයේ ඉගැනුම්වලට කිසිඳු සම්බන්ධයක් නොමැති බවද ඒ අනුව අයි.එස්. ත්‍රස්තවාදීන් මුස්ලිම් නොවේය යැයිද අප අවධාරණයෙන් ප්‍රකාශ කරමින් සිටියෙමු. මන්දයත් අන්තවාදය, ප්‍රචණ්ඩත්වය හෝ මරාගෙන මැරෙන ඇතුළු අන් සියලුම ආකාරවල ත්‍රස්ත ප්‍රහාරවලට කිසිසේත් ඉස්ලාමය අනුබල නොදෙන හෙයිනි.

වසර දහසකට අධික කාලයක් මුළුල්ලේ මුස්ලිම් ජනයා මෙරට බහුතර සිංහල සහෝදර සහෝදරියන් සමග සාමයෙන් හා එක්සත්ව වාසය කරමින් සිටින බව ප්‍රකට කරුණකි. අප්‍රේල් ප්‍රහාර මාලාවේ කම්පනය නිසා මුස්ලිම්වරුන් වශයෙන් සහෝදර ජනතාව අතර සබඳතාව වඩාත් ශක්තිමත් කිරීමටත් විවිධ ජනකොටස් සමග වඩාත් සමීප වීමටත් වූ අධිෂ්ඨානය තර වී ඇත. ජාතීන් අතර වන මෙම සංහිඳියාව තවතවත් ශක්තිමත් කරන්නට මුස්ලිම් අප සැම විශේෂයෙන් කැපවීමකින් කටයුතු කළ යුතු අවදිය මෙයයි. ඒ අනුව පහත කරුණු ගැන සැළකිලිමත් වන මෙන් ලංකාවාසී මුස්ලිම්වරුන්ගෙන් සහ මස්ජිද්වල භාරකරුවන්ගෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය කාරුණිකව ඉල්ලා සිටියි.

  • 2017 වසර සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය විසින් මස්ජිද්වලට හඳුන්වා දෙන ලද ‘සාම මධ්‍යස්ථාන සංකල්පය’ වඩාත් ඕනෑකමින් ක්‍රියාත්මක කළ යුතුය.
  • ඕනෑම ජන කොටසකට අයත් ඕනෑම කෙනෙකුට පැමිණ කරුණු විමසා පැහැදිළි කිරීම් ලබා ගැනීමට හැකි වන අයුරින් ඔබගේ ප්‍රදේශවල මස්ජිද්, මක්තබ් පාසල් සහ මද්රසා පාසල් විවෘතව තැබිය යුතුය.
  • ආදර්ශමත් ප්‍රජාවක් ලෙස මුස්ලිම් තරුණයන් බිහි වන ආකාරයෙන් මස්ජිදය මුල් කර ගත් ව්‍යාපෘති සැලසුම් කළ යුතුය.
  • මස්ජිදයේ විවිධ අවස්ථාවල ඉමාම්වරුන් පවත්වන දේශනා විෂයයෙහි වගකීම දැරිය යුතු වන්නේ ඒ ඒ මස්ජිද්වල පරිපාලකයින් වන හෙයින් එම දේශනාවල අන්තර්ගතය සිරිත් පරිදි ඉස්ලාමීය ඉගැන්වීම්, සදාචාරාත්මක අගයන්, සාමය හා සංහිඳියාව, ජනකොටස් අතර සුහදත්වය, යහපත් ප්‍රජාවක් වීමේ වැදගත්කම ආදිය අවධාරණය කරනා ලෙසින් තිබීමට තහවුරු කර ගත යුතුය. මෙම දේශනා සඳහා පිළිගැනීමක් ඇති, උගත්, පරිණත ආගමික වියතුන් පමණක් තෝරා ගත යුතුය. යමෙකු පිළිබඳ විමසීමක් අවශ්‍ය වු විට ඔහු පිළිබඳ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනයෙන් විමසා සැක හැර ගත යුතුය.
  • අපගේ මාතෘභූමියෙන් ත්‍රස්තවාදයේ සියළුම කුරිරු සැවනැලි මුලිනුපුටා දැමීම සඳහා මෙයට පෙර කටයුතු කළා සේම රජය, හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ සහ නීතිය ක්‍රියාවේ යොදවන සියළු රාජ්‍ය ආයතනවලට පූර්ණ සහය ලබා දිය යුතුය. එමෙන්ම පවතින හා රටේ ආරක්‍ෂාව වෙනුවෙන් අවස්ථානුකූලව පනවනු ලබන නව නීති හා නිවේදන අකුරටම පිළිපැදිය යුතුය.

එමෙන්ම ප්‍රහාර නිසා හානියට හා දුකට පත්ව සිටින සියළුම පවුල් වෙනුවෙන්ද අපගේ මව්බිමේ පවතින ව්‍යාකූලතා සියල්ල පහ වී නැවතත් සාමයේ හා අභිවෘධියේ මාවතේ ලක්මව ගමන් කරවිය යුතු යැයි ද නිතිපතා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන මෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

 

 

ගරු මුෆ්ති එම්.අයි. එම්. රිස්වි                                                                                ගරු අෂ් ෂෙයික් අගාර් මොහමඩ්

සභාපති,                                                                                                          නියෝජ්‍ය සභාපති,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය (ACJU)                                      සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය (ACJU)

 

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *