ACJU/NGS/2023/156
2023.06.08 (1444.11.18)
සහජීවනය යනු තම අනන්‍යතාවන්, සංස්කෘතීන් සහ ආගමික විශ්වාසයන් රැක ගනිමින්, අන් ආගමික නැමදුම්වලට සම්බන්ධ නොවී, ඔවුන්ගේ සංස්කෘතීන්ට සහ ආගමික විශ්වාසයන්ට නිග්‍රහ නොකර, මානුෂීය පදනමක් මත සියලු දෙනාගේ දුක සැප බෙදා ගැනීමයි.
අපේ මාතෘභූමිය වන ශ්‍රී ලංකාව බහු වාර්ගික සහ බහු ආගමික ප්‍රජාවක් ජීවත් වන රටකි. මෙරටේ සංවර්ධනයත් ප්‍රගතියත් රඳාපවතින්නේ මෙහි වෙසෙන බහු වාර්ගිකයින් හා බහු ආගමිකයින් අතර පවතින යහපත් සබඳතා මතයි.
අපට හානියක් නොවන, අප සමඟ සාමකාමීව ජීවත්වන අන්‍යාගමික සහෝදරයන් සමඟ යහපත් සබඳතාවක් පැවැත්විය යුතු යැයි පහත ශුද්ධ වූ අල්-කුර්ආන් වැකි තුළින් මුස්ලිම්වරුන් වන අප හට උපදෙස් කරයි.
وَ اعۡبُدُوا اللّٰہَ وَ لَا تُشۡرِکُوۡا بِہٖ شَیۡئًا وَّ بِالۡوَالِدَیۡنِ اِحۡسَانًا وَّ بِذِی الۡقُرۡبٰی وَ الۡیَتٰمٰی وَ الۡمَسٰکِیۡنِ وَ الۡجَارِ ذِی الۡقُرۡبٰی وَ الۡجَارِ الۡجُنُبِ وَ الصَّاحِبِ بِالۡجَنۡۢبِ وَ ابۡنِ السَّبِیۡلِ ۙ وَ مَا مَلَکَتۡ اَیۡمَانُکُمۡ ؕ اِنَّ اللّٰہَ لَا یُحِبُّ مَنۡ کَانَ مُخۡتَالًا فَخُوۡرَا ﴿ۙ۳۶﴾
“නුඹලා අල්ලාහ්ට නමදිවු. ඔහුට කිසිවක් ආදේශ නොතබවු. දෙමාපියන් සමග යහපත් අයුරින් කටයුතු කරවු. තවද ඥාතීන් සමග ද අනාථයින් සමග ද දිළිඳන් සමග ද ඥාතී අසල්වැසියා සමග ද සමීප අසල්වැසියා සමග ද අසලින් සිටින මිතුරා සමග ද මගියා සමග ද නුඹලාගේ දකුණත සතු කරගත් අය(වහලුන්) සමග ද (යහපත් අයුරින් කටයුතු කරවු). සැබැවින්ම අල්ලාහ් උඩඟුකමින් හා පුහුමානයෙන් සිටින්නන්ව ප්‍රිය නොකරන්නේය.” (අල්-කුර්ආනය 04:36)
لَا یَنۡہٰىکُمُ اللّٰہُ عَنِ الَّذِیۡنَ لَمۡ یُقَاتِلُوۡکُمۡ فِی الدِّیۡنِ وَ لَمۡ یُخۡرِجُوۡکُمۡ مِّنۡ دِیَارِکُمۡ اَنۡ تَبَرُّوۡہُمۡ وَ تُقۡسِطُوۡۤا اِلَیۡہِمۡ ؕ اِنَّ اللّٰہَ یُحِبُّ الۡمُقۡسِطِیۡنَ۸
“දහම හේතුවෙන් නුඹලා හා සටන් නොකළවුන්ට ද නුඹලාගේ නිවෙස් වලින් නුඹලාව බැහැර නොකළවුන්ට ද යහපත කිරීම හා යුක්ති ගරුකව කටයුතු කිරීමෙන් අල්ලාහ් නුඹලාව වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්තිගරුකව කටයුතු කරන්නන්ව ප්‍රිය කරන්නේය.” (අල්-කුර්ආනය 60:08)
ඉහත සඳහන් කරුණු මත පදනම්ව මුස්ලිම්වරුන් වශයෙන් අපගේ ආගමික මූලධර්ම හා පෞරුෂ්‍යත්වය ආරක්ෂා කර ගනිමින්, මෙරට වෙසෙන බෞද්ධ, හින්දු, කිතුනු ඇතුළු සියලු බැතිමතුන් සමඟ සහජීවනය සංහිඳියාව පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය වේ.
සහජීවනය පවත්වා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු:
- තම ආගමික ප්‍රජාවේ මිනිසුන්ට උපකාර කිරීම මෙන්ම අනෙකුත් ප්‍රජාවන්හි දුප්පතුන්, අනාථයන්, වැන්දඹුවන්, ආබාධිතයන්, රෝගීන් ආදී අසරණයන්ට මානුෂීය පදනමින් උපකාර කිරීම
- අසල්වාසීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඔවුන් සමඟ යහපත් සබඳතා වර්ධනය කිරීම
- පොදුවේ තමන් අතර සිටින අසරණයින්ට උපකාර කිරීම
- ඔවුන්ට තෑගීබෝග දීම
- පොදු කර්තව්‍යයන් (ශ්‍රමදාන), පරිසර සංරක්ෂණය, සමාජ උවදුරු තුරන් කිරීම ආදී කටයුතුවලදී ආගමික සම්මතයන්ට අනුකූලව ඔවුන් සමග එක්කාසු වීම
- පාසල් වැනි පොදු ස්ථාන වලට උපකාර කිරීම
- ඔවුන් සමඟ ගනුදෙනු කිරීමේදී විශ්වාසනීයව හා පරිත්‍යාගශීලීව කටයුතු කිරීම
- අවමංගල්‍යයකදී ශෝකය ප්‍රකාශ කිරීම
- තම දහම සහ සංස්කෘතිය පිළිබඳව ඔවුන්ට පැහැදිලි කිරීම
- අපගේ නමස්කාරයන්ට ඔවුන් සම්බන්ධ කර ගැනීම සහ ඒ සඳහා ඔවුන්ගේ උපකාර පැතීම වැනි ඔවුන්ට අගෞරව වන (අපහසුතාවක් අත්වන) ක්‍රියාවලින් වැළකී සිටීම. එලෙසම, ඔවුන්ගේ නමස්කාර ක්‍රියාවන්හි අපව සම්බන්ධ කර ගැනීම සහ ඒ සඳහා ඔවුන්ට උපකාර කිරීම තහනම් බැවින් ඒවායින් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම
- විශේෂයෙන්ම ඔවුන් අපගේ ආගමික ස්ථාන නැරඹීමට හෝ අප ඔවුන්ගේ ආගමික ස්ථානවලට ගියහොත්, ඔවුන් අපගේ නමස්කාරයේ හෝ අප ඔවුන්ගේ නමස්කාරයේ යෙදීමෙන් වැළකිය යුතුය. කෙසේ වෙතත්, අප දෙපිරිස අතර ඇති ගමන්මග හැඳින්වීමේ සහ අවබෝධයේ ගමනක් බව අවබෝධ කර ගත යුතුය
- ඔවුන්ගේ නමස්කාරයට සම්බන්ධ සංකේත භාවිත කිරීමෙන් ද සම්පූර්ණයෙන් වැළකී සිටීම
- ඔවුන්ගේ පූජනීය ස්ථාන සහ ආගමික වත්පිළිවෙත් අපකීර්තියට පත් නොකිරීම
එසේම සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව (ACJU) විසින් 2012.12.27 දින, ‘තම සහෝදර ආගමික ප්‍රජාවන් සමඟ සහජීවනය ගොඩනැගීම’ යන මාතෘකාව යටතේ මාර්ගෝපදේශ ඇතුළත් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
එබැවින් අන්‍ය ආගමික සහෝදරයන් සමඟ යහපත් සබඳතාවක් වර්ධනය කර ගැනීමේ අරමුණින් ඉහත උපදෙස් මගපෙන්වීම් පිළිපදින මෙන් ඉල්ලා සිටිමු. මේ හරහා අපි මුස්ලිම්වරුන් වශයෙන් ඔවුන්ට අපගේ දහම හා සංස්කෘතිය පිළිබඳ හැඳින්වීමක් ලබා දීමට හැකි වන අතර අපගේ මූලික විශ්වාසයන්, ආගමික සීමාවන් පවත්වා ගැනීමට සහ ආරක්ෂා කිරීමට මෙය සාධකයක් වනු ඇතැයි සඳහන් කිරීමට කැමැත්තෙමු.
සර්වබලධාරී අල්ලාහ්, අප සැමට අපගේ සියලු කටයුතුවලදී ආගමික මාර්ගෝපදේශ පිළිපැදීමටත් සාමයික සමගිය හා සහජීවනය පවත්වා ගැනීමටත් ආශිර්වාද කරත්වා!
අෂ්-ෂෙයික් මුෆ්ති එම්. අයි. එම්. රිස්වි
සභාපති
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
අෂ්-ෂේක් එම්.එල්.එම්. ඉල්යාස්
ලේකම් (ෆත්වා අංශය)
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව