අයි.එස්.අයි.එස්. සංවිධානය හා අන්තවාදය පිළිබඳ ශ්‍රී ලාංකේය ප්‍රධාන මුස්ලිම් සංවිධානයන්හි ඒකාබද්ධ ප්‍රකාශනය

23.07.2015

සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය විසින් 2015 ජූලි මස 22 දින පහත සඳහන් ශ්‍රී ලාංකේය ප්‍රධාන මුස්ලිම් සංවිධානයන්හි සහභාගිත්වයෙන් සංවිධානය කරන ලද අන්තවාදීත්වයට විරෝධී සමුළුවේ නියෝජිතයින් වන අපි සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් හා ත්‍රස්තවාදී ක්‍රියාවන් ඒකාර්ථයෙන් හා ඒකමතිකව හෙළාදකින්නෙමු.

ඉස්ලාමය සකල මනුෂ්‍ය වර්ගයාටම මෛත්‍රිය හා කරුණාව දැක්වීම පදනම් කරගත් දහමකි. එය සදාතනික සාමයේ, ශාන්ත භාවයේ, ආරක්ෂාවේ හා සහෝදරත්වයේ උල්පතකි. ආගමික හෝ වාර්ගික භේදයකින් තොරව ඉස්ලාමය මිනිස් ජීවිතයන්ට උත්තරීතර අගයක් ලබාදී ඇත්තේ එක් අයෙකුව නිරපරාදේ මරා දැමීම මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම මරා දැමීම හා සම කරමිනි. සාමය හා සහෝදරත්වය සම්බන්ධයෙන් වූ එහි ඉගැන්වීම් සකල මනුෂ්‍ය වර්ගයා කෙරෙහිම අදාළ හා ආවරණය කරන්නක් ලෙස පවතී. කිසිදු භේදයකින් තොරව සැමට සහෝදරත්වයෙන්, මෛත්‍රියෙන්, සාධාරණත්වයෙන්  හා යුක්ති ගරුකව කටයුතු කරන ලෙස ඉස්ලාමය උගන්වයි. ඉස්ලාමය සියලුම ආකාරයේ හිංසනයන්, කලහකම් හා ත්‍රස්ත ක්‍රියාවන් ඉතා දැඩි අයුරින් හෙළාදකියි. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව හිංසනය, අනර්ථකම්, කලහකම් හා මිනිස් ඝාතනයන් බරපතල පාපයන් හා අපරාධයන් ලෙස සැලකේ.

අයි.එස්.අයි.එස්. සංවිධානය සාහසික අන්තවාදී සංවිධානයක් වේ. එය නොමග ගිය සංවිධානයක් වන අතර එහි ක්‍රියාකාරකම් ඉස්ලාමීය ප්‍රතිපත්ති හා ශික්ෂාවන්ට පටහැනිය. අවාසනාවට බටහිර මාධ්‍ය විසින් ‘ජිහාද්’ යන පදය වැරදි හා අනිසි අයුරින් යොදා ගනිමින් එය මිනිස් ඝාතන හා අසාධාරණ යුද ගැටුම් අර්ථවත් කරන්නක් බව හුවා දක්වමින් කටයුතු කරයි. ඕනෑම සංවිධානයක් අහිංසක මිනිසුන් ඝාතනය කිරීමට ‘ජිහාද්’ සංකල්පයේ මුවාවෙන් කටයුතු කරන්නේ නම් සත්‍යය වශයෙන්ම එය පරිපූර්ණ ලෙසම ඉස්ලාමයට පටහැනි ක්‍රියාවකි. නිවැරදි ඉස්ලාමීය මුලාශ්‍ර පදනම් කරගනිමින් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය විසින් ‘ජිහාද්’ සංකල්පයේ ආධ්‍යාත්මිකත්වය විග්‍රහ කරමින් නිකුත් කොට ඇති ග්‍රන්ථය අපි සම්පූර්ණයෙන්ම  අනුමත කරන්නෙමු.

2014 ජූලි  මස 6 වැනි දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශනය කරන ලද සවිස්තරාත්මක ගුවන් විදුලි වැඩ සටහන මගින් හා 2014 අගෝස්තු මස 30 වැනි දින නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශනය මගින් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය විසින් අයි.එස්.අයි.එස්. සංවිධානය ඉස්ලාමයට පටහැනි අන්තවාදී සංවිධානයක් ලෙස හෙළිදරවු කිරීමට ගත් පියවරයන් අපි ඉතා අගය කොට සලකන්නෙමු.

අයි.එස්.අයි.එස්. හෝ අන් ඕනෑම අන්තවාදී සංවිධානයක් සමග ඉස්ලාමය කඩතුරාවක් කරගනිමින් සම්බන්ධතාවන් පවත්වන සියල්ලන් ව අපි ඉතා දැඩි ව හා ඒකාර්ථයෙන් ම හෙළාදකින්නෙමු. ඕනෑම ආකාරයේ අන්තවාදී  ක්‍රියාවන් හි නියැලෙන ඕනෑම පුද්ගලයෙකු හෝ සංවිධානයක් සාධාරණීය කිරීමට සහතික වශයෙන්ම කිසිදු අවස්ථාවක අපි ඉදිරිපත් නොවන්නෙමු.

අන්තවාදී ක්‍රියාවන් හි නියැලෙන සියලු පුද්ගලයන්ට එරෙහි ව තරාතිරම හෝ අන් කිසිදු සාධකයක් ගැන තැකීමකින් තොරව නීතිය දැඩි අයුරින් ක්‍රියාත්මක කරන ලෙස අපි රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු. අපගේ මාතෘ භූමියෙන් මෙවන් ව්‍යසනයන් සහමුලින්ම තුරන්කර දැමීම පිණිස සමාජ විරෝධී හා අපරාධකාරී  පුද්ගලයින් ගැන කටයුතු කරන සියලු රාජ්‍ය ආයතන වෙත අපගේ පූර්ණ සහයෝගය හා උපකාරයන් ලබා දීමට සූදානමින්  සිටින්නෙමු.

මෙම කර්තව්‍යයේදී ඉතා වගකීම් සහිත හා නිවැරදි අරමුණු පදනම් කරගනිමින් කටයුතු කරන ලෙස සියලු මාධ්‍ය ආයතනයන් වෙත ඉතා කාරුණික ව ආයාචනය කර සිටින්නට කැමැත්තෙමු. විවිධ වාර්ගිකයින් අතර රටේ දැනට පවතින ශුභවාදී සහජීවන රටාවට හානියක් වන අයුරින් මෙවන් ක්‍රියා හා බැඳි ප්‍රවෘත්ති සංවේදීත්වය දනවන ලෙසින් පළ නොකරන ලෙසද ඉතා කාරුණික ව ඉල්ලා සිටින්නෙමු.

ආරම්භයේ සිට ශත වර්ෂ ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාව තම මාතෘ භූමියට කොන්දේසි විරහිත පක්ෂපාතිත්වයෙන් මෙන්ම දේශාභිමානය හා දේශානුරාගයෙන් යුක්තව කටයුතු කොට ඇත. අපගේ මාතෘ භූමියට අපකීර්තියක් හෝ කැළලක් වන අයුරින් කිසිදු ක්‍රියාවක් කිරීමට හෝ අනුමත කිරීමට මුළුමහත් මුස්ලිම් ප්‍රජාවම බැඳී සිටින බව ඒකාර්ථයෙන් හා ඒකමතිකව සහතික කරන්නෙමු.

  1. All Ceylon Jamiyyathul Ulama (ACJU)
  2. Muslim Council of Sri Lanka (MCSL)
  3. Sri Lanka Jamat e Islami (SLJI)
  4. Jama’athus Salama
  5. Jamiyyathus Shabab (AMYS)
  6. Al-Muslimath
  7. International Islamic Relief Organization (IIRO)
  8. World Assembly of Muslim Youth (WAMY)
  9. All Ceylon YMMA Conference (YMMA)
  10. Thableegh Jama’ath
  11. All Ceylon Thowheedh Jama’ath (ACTJ)
  12. Colombo District Masjid Federation (CDMF)

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *