ACJU/NGS/2022/246
2022.07.29 (29.12.1443)
මනුෂ්‍ය ජීවිතය අර්ථවත් හා අලංකාර කිරීම සඳහා සර්ව බලධාරී අල්ලාහ් විසින් මිනිසාහට විවිධ සබඳතා ඇති කර දී ඇත. සබඳතා යනු මිනිස් ජීවිතයේ උල්පතයි. එවැනි සබඳතාවලදී මිත්‍රත්වය ඉතා වැදගත් ස්ථානයක් ගනියි. මිත්‍රත්වය, ස්නේහය ආදී ගුණාංග සැමවිටම සමීප ආත්මීය බැඳීමක් ඇති කරයි. එය අපගේ ළමා කාලයේ සිට මහලු විය දක්වා ජීවිතයේ සෑම සමයකදීම අඛණ්ඩව පවතී.
මිත්‍රත්වය අගය කිරීම යනු ඊමාන් නැමැති දේව විශ්වාසයේ ඉතා උසස් අංගයකි. සර්ව බලධාරී අල්ලාහ් වෙනුවෙන් යමෙකුට ආදරය කරන විට අපගේ දේව විශ්වාසය පරිපූර්ණ වේ. එය අප ස්වර්ගයට ඇතුළු වීමට හේතුවක් වනු ඇත.
නබි මුහම්මද් (සල්) තුමාණෝ පවසා ඇත. “ඔබ දේව විශ්වාසය ඇති කර ගන්නා තුරු ස්වර්ගයට ඇතුළු නොවනු ඇත. ඔබ එකිනෙකාට ආදරය නොකරන තුරු ඔබ දේව විශ්වාසය ඇති නොකරනු ඇත. ඔබලා අතර ආදරයක් ඇති වන විෂයක් මම ඔබට දන්වන්නද? ඔබ අතර සලාමය නැමැති සුබ පැතුම පතුරවන්න.” (මූලාශ්‍රය: සහීහ් මුස්ලිම්)
තවද නබි මුහම්මද් (සල්) තුමාණෝ පැවසූහ. “සෙවණක් නොමැති මහ්ෂර් පිටියේදී සර්ව බලධාරී අල්ලාහ් විසින් තම අර්ෂයෙහි සෙවනැල්ල මිනිසුන් හත් දෙනෙකුට ලබා දෙයි. ඔවුනතරින්, අල්ලාහ් වෙනුවෙන් එකතු වී අල්ලාහ් වෙනුවෙන් වෙන් වන මිතුරන් දෙදෙනෙක් වෙති.” (මූලාශ්‍රය: සහීහ් අල්-බුහාරි)
මිත්‍රත්වය යනු අපගේ ජීවිතයට ධනාත්මක හා ඍණාත්මක බලපෑමක් ඇති කරන විෂයකි. හොඳ මිතුරෙක් සඳහා කස්තුරි වෙළෙන්දෙකු සහ නරක මිතුරෙක් සඳහා කම්මල් කරුවෙකු උදාහරණ ලෙස නබි මුහම්මද් (සල්) තුමාණෝ ගෙනහැර පෙන්වූහ.
එබැවින් හොඳ මිතුරන් තෝරා ගැනීම, සර්ව බලධාරී අල්ලාහ් වෙනුවෙන් ඔවුන්ට ආදරය කිරීම, අපගේ ආදරය ඔවුන්ට ප්‍රකාශ කිරීම, ඔවුන් සමඟ නිරන්තර මිත්‍රත්වය සහ යහපත් දේ සඳහා ඔවුන්ට සහාය වීම අත්‍යාවශ්‍ය වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර මිත්‍රත්ව දිනය ලෙස ජූලි 30 වෙනිදා හඳුන්වා දී ඇත්තේ වර්ග, ආගම් හා සංස්කෘතීන් යන කරුණු තුළින් අන්තර්ජාතික මිත්‍රත්වය සහ ඒකාග්‍රතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බව මෙහි සඳහන් කළ යුත්තකි.
අපි මිත්‍රත්වයේ යහගුණ පුරුදු වෙමින් සර්ව බලධාරී අල්ලාහ් අපට යහපත් මිතුරන්ගේ ඇසුර ලබා දෙන ලෙස ප්‍රාර්ථනා කරමු.
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව