ඊදුල්-ෆිත්ර් උත්සව දින පණිවිඩය

ACJU/NGS/2021/071

2021.05.14

 

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඉතා දුෂ්කර තත්ත්වයක් යටතේ පුරා මාසයක් උපවාස ශීලයේ යෙදී යහක්‍රියාවන්හි නියැලී ඊදුල්-ෆිත්ර් උත්සවය සමරන සියලුම මුස්ලිම්වරුන්හට සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ගරු සභාපති, මහලේකම්, භාණ්ඩාගාරික, විධායක කමිටුව, සාමාජිකයන් සහ සියලු කාර්ය මණ්ඩලය ඊදුල්-ෆිත්ර් සුබ පැතුම් පිරිනමයි.

මෙම කොවිඩ්-19 ආසාදනයෙන් අප මාතෘ භූමිය යථා තත්ත්වයට පත් කිරීමට වෙහෙසෙන සෞඛ්‍ය සේවයේ නියුතු අය, ආරක්ෂක නිලධාරීන් ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්හි නිරත වන සියලු දෙනාට මෙම ඊදුල්-ෆිත්ර් දිනහි සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සිය හෘදයාංගම ස්තූතිය පිරිනමයි.

අයුක්තියට ලක්වූවන්ට සහ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ගේ පවුල්වලට යුක්තිය හා සැනසුම උදාවීමට ද කෝව්ඩ්-19 වසංගතය හේතුවෙන් මියගිය අයගේ පවුල්වලට විමුක්තිය සහ සැනසීම උදාවීමට ද මෙම ශුද්ධ වූ දිනයෙහි සර්වබලධාරී අල්ලාහ් අභියස ප්‍රාර්ථනා කරයි.

මෙම උතුම් දිනයේ, ඉස්ලාමයේ ඉගැන්වීම් නිසි ලෙස පිළිපදිමින් ලෝවාසි සියලු ජනතාව, විශේෂයෙන් ලක්වැසි සියලු දෙනා, මෙම වෛරසයේ බලපෑමෙන් සුරක්ෂිත වී අප මාතෘ භූමියේ විමුක්තිය උදෙසා අප ප්‍රාර්ථනා කරමු.

ඉතා දුෂ්කරකාරී කාලයක වුවද සර්වබලධාරී අල්ලාහ් කෙරෙහි ස්ථිර විශ්වාසයක් තබා ගැනීම දේව විශ්වාසිකයින්ගේ ප්‍රධාන ලක්ෂණයකි. සර්වබලධාරී අල්ලාහ් අපෙන් යමක් උදුරා ගත් විට, ඊට වඩා හොඳ යමක් ඔහු අපට පිරිනමනු ඇතැයි යන හැඟීම අප තුළ තිබිය යුතුයි. “සැබවින්ම දුෂ්කරතාව සමග පහසුව (බැඳී) ඇත.” යැයි සර්වබලධාරී අල්ලාහ් ශුද්ධ වූ අල්-කුර්ආනයේ සඳහන් කර ඇත. මෙම ශව්වාල් මාසයේ උදාවත් සමග අප බලාපොරොත්තු වන යහ දෑ අපට පිරිනමනු ලැබීම අප අපේක්ෂා කරමු.

සර්වබලධාරී අල්ලාහ්, අපගේ උපවාස ශීලය පිළිගනිමින් එහි සම්පූර්ණ කුසල පිරිනමනු මැනව, ගෝලීය වශයෙන් මිනිසුන් මුහුණ දෙන සියලු ආකාරයේ පීඩාවන්වලින් ආරක්ෂා කරනු මැනව! ආමීන්,

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *