ඊදුල් ෆිත්ර් සුබපැතුම් පණිවිඩය – 2024 – සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

ACJU/NGS/2024/314

2024.04.10 (1445.10.01)

ශුද්ධ වූ අල්-කුර්ආනය දායාද වූ ශුද්ධ වූ රමළාන් මාසයේදී ගෝලීය වශයෙන් බිලියන දෙකක මුස්ලිම් ප්‍රජාවක් ශුද්ධ වූ අල්-කුර්ආනය මනනය කොට හෝ පිටපත් බලා මස්ජිද්වල හා තම නිවෙස්වල සලාතයේ හා අනෙකුත් ආගමික වතාවත්වලදී පාරායනය කරමින්, සවන් දෙමින් සිටිති.

අපගේ අධ්‍යාත්මික දියුණුව සඳහා කායික, මානසික වශයෙන් කැප වී උපවාස ශීලයේ නියැළී, දික්ර් හි නිරත වෙමින්, සකාත් හා සදකා වැනි දානමාන පිරිනමා, රාත්‍රී නැමදුම් ඉටු කර මහා කාරුණික අල්ලාහ්ගේ ආදරය, පාපක්ෂමාව සහ නිරයෙන් මිදීම බලාපොරොත්තු වෙමින් අපි ඊදුල්-ෆිත්ර් නම් උතුම් රමළාන් උත්සව දිනට ළඟා වී සිටිමු.

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ ගරු සභාපති, ගරු මහා ලේකම්, ගරු භාණ්ඩාගාරික, විධායක කමිටු සාමාජිකයින්, නිලධාරීන් ඇතුළු සියලු සාමාජිකයින් වෙනුවෙන් මෙම ශුද්ධ වූ ඊදුල්-ෆිත්ර් නම් උතුම් රමළාන් උත්සවය සමරන සමස්ත ඉස්ලාම් බැතිමතුන් වෙත ඊදුල් ෆිත්ර් සුබපැතුම් පුදකර සිටිමු.

මෙම රමළාන් මාසයේදී, මහා කාරුණික අල්ලාහ්ගේ නියමයන්ට අනුව සහ ශුද්ධ වූ අල්-කුර්ආනය පාරායනයෙහි නිරත වී, නැමදුම් නමස්කාරයන්හි ගිලී, පාපයෙන් දුරස්ථ වී, යහපත් ක්‍රියාවන්හි නිරත වූ ආකාරයෙන්, මින් මත්තටත් නැමදුම් නමස්කාරයන්, ගනුදෙනු, පවුල් සමාජ ජීවිතය හා සංස්කෘතික වටිනාකම් අගයමින් කටයුතු කළ යුතුයි. ඒ සඳහා වූ පුහුණුව ගෙවී ගිය රමළාන් මාසය අපට ලබාදී ඇත.

එමෙන්ම සමස්ත මුස්ලිම් ප්‍රජාව විසින් රමළාන් සමයේදී උපවාස ශීලයේ නියැළී සමාජ සමගිය පෙන්නුම් කරමින් කටයුතු කළා සේ ජාතියේ සුභසිද්ධිය සහ සහජීවනය උදෙසා සහයෝගයෙන් කටයුතු කරමින් ආදර්ශවත් ප්‍රජාවක් විය යුතු යැයි මෙම උතුම් ඊදුල් ෆිත්ර් රමළාන් උත්සව දිනදී අවධාරණය කර සිටිමු.

ඊදුල් ෆිත්ර් රමළාන් උත්සව දිනය යනු පරිත්‍යාගය/කැපවීම පදනම් වූවකි. මාසයක් පුරාවට මහා කාරුණික අල්ලාහ්ගේ අණට සම්පූර්ණයෙන් අවනත වී, නිරාහාරව සිට, ශාරීරික අවයවයන් පාලනය කර ගනිමින්, උපවාස ශීලයේ යෙදී, රාත්‍රියේ නැමදුම් ඉටු කළාවූ වෙහෙස හා සතුට මෙම උතුම් දිනයේදී ප්‍රකාශ කරමු. එමෙන්ම අප වටා සිටින දුප්පතුන් හා අගහිඟකම් ඇත්තවුන්ට ද උදව් උපකාර කරමින් උත්සව දිනය සැමරීමට සහාය වෙමු.

සර්ව බලධාරී අල්ලාහ්, අප විසින් ඉටු කළාවූ උපවාස ශීලයන් සහ අපගේ යහක්‍රියාවන් පිළිගෙන අපට උසස් වේතනයන් පිරිනමනු මැනව! රමළාන් සමයේදී අප ලැබූ පරිණතභාවය සහ අල්-කුර්ආනය සමඟ අපගේ සමීපත්වය පදනම් කර ගනිමින් ලෝකයේ රටවල සහ විශේෂයෙන් පලස්තීනයේ සාමය ස්ථාපිත කරනු මැනව! අප මාතෘ භූමියේද සාමය සහජීවනය උදාකරනු මැනව!

تقبل الله منا ومنكم

 

මුෆ්ති එම් .අයි එම් රිස්වි

සභාපති

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහා ලේකම්

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *