එළඹෙන ජනධිපතිවරණය සම්බන්ධව ජම්යියතුල් උලමා සම්මේලනයේ මාර්ගෝපදේශය

 2019.10.25

(හිජ්රි 25.02.1441)

ලබන නොවැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ සමයෙහි පහත කරුණු ගැන සැලකිලිමත් වෙමින් කටයුතු කරන මෙන් ශ‍්‍රී ලාංකික මුස්ලිම් ජනයාගෙන් සමස්ත ලංකා මුස්ලාමීය වියතුන්ගේ සම්මේලනය හෙවත් ජම්යියතුල් උලමා සම්මේලනය කාරුණිකව ඉල්ලා සිටියි.

  1. ගත වුනු 90 වසරකට ආසන්න කාලයක් මෙරට ආගමික, සමාජීය හා මානුෂීය සත්කාර මෙහෙවරවල යෙදී සිටින ජම්යියතුල් උලමා සම්මේලනය සිය කටයුතුවල කිසිඳු දේශපාලන පක්‍ෂයකට පක්‍ෂව හෝ විපක්‍ෂවම කි‍්‍රයා නොකරන බව කවුරුත් දනියි. එනිසා අපගේ මෙම ප‍්‍රතිපත්තියට හානි වන ආකාරයෙන් අප සම්මේලනයේ නාමය කිසිඳු දේශපාලන කටයුත්තකට හෝ ප‍්‍රකාශයකට භාවිත නොකරන මෙන් සැමගෙන් හා විශේෂයෙන් ලාංකික මුස්ලිම් ප‍්‍රජාව වෙතින් තරයේ ඉල්ලා සිටිමු.
  2. විශ්වයේ සියලුම දේ සිදුවන්නේ විශ්වාධිපති අල්ලාහ්ගේ සිතැගි පරිදිය යන විෂයෙහි නොසෙල්වෙන විශ්වාසයක් තබා සිටින මුස්ලිම්වරුන් වන අපි, ජනාධිපතිවරණයෙන් කවුරු ජය ගත්තත් එයද අල්ලාහ්ගේ තීරණය පරිදි සිදුවුවක් යැයි හෘදයාංගමව පිළිගැනීම අපගේ වගකීමකි.
  3. මෙලොව මෙන්ම එලොව ජීවිතයේද ජය රඳා පවතින්නේ අපගේ වක්තෘ මුහම්මද් තුමන්ගේ ආදර්ශමත් ජීවිතය අනුව අපගේ දිවිය හැඩ ගස්වා ගැනීමෙන් පමණි. මෙම ආකල්පය ජනාධිපතිවරණ සමයටද අදාළ විය යුතුය. විශේෂයෙන් මෙම කාලයෙහි අපගේ මව්බිමට සාමයෙන් සපිරි සමෘද්ධිමත් අනාගතයක් අත් වේවා යැයි අප ප‍්‍රාර්ථනා කළ යුතුය. එමෙන්ම අල්ලාහ්ගේ උපකාරය ලබා ගත හැකි යහකි‍්‍රයාවල අප නියැලිය යුතුය.
  4. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුලධර්ම අනුව කටයුතු කරන මෙරටෙහි ඕනෑම කෙනෙකුට හා පක්ෂයකට මැතිවරණයකට තරඟ කළ හැකිය. එසේම ඕනෑම රට වැසියෙකුට තමන් කැමති අපේක්‍ෂකයෙකුට ඡන්දය ලබා දිය හැකිය. මෙය යුතුකමක් හා අයිතියක් මෙන්ම භාරදුර වගකීමක්ද වන්නේය. මුස්ලිම්වරුන්ටත් මෙම ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිය හා වගකීම ඇත. එනිසා ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී නොසිට එයට වැදගත්කමක් ලබා දිය යුතුය.
  5. දේශයට ආදරය කරන, ජනතාව වෙනුවෙන් කැපවනු හා රට දියුණු කරනු ඇත යැයි අප විශ්වාස කරන අපේක්‍ෂකයෙකුට අපගේ ඡන්දය ප‍්‍රකාශ කළ යුතුය.
  6. ඡන්ද සමයෙහි හෝ ඕනෑම කාලයක එය හා සම්බන්ධ කිසිඳු වැරදි හෝ නොමනා කි‍්‍රයාවක අප නොයෙදිය යුතුය. එමෙන්ම දූෂ්‍ය ආරංචි, අසත්‍ය හෝ සැක සහිත තොරතුරු හා පුවත් පැතිරවීමෙන්ද අප වැළකී සිටිය යුතු අතර එසේ වීමෙන් අපගේ ආගමික විශ්වාසයද පළුදු විය හැකිය.
  7. ආගමික විද්වතුන් සිකුරාදා ජුමුආ දේශනය ඇතුලූ කිසිදු ආගමික දේශනයක මෙන්ම පුද්ගලික සංවාදවලදී ද කිසිදු අපේක්‍ෂකයෙකුට පක්‍ෂව හෝ විරුද්ධව අදහස් නොදැක්විය යුතුය. මෙම මාර්ගෝපදේශ පිළිබඳව ජනයා දැනුවත් කළ යුතුයි. එමෙන්ම මස්ජිදය දේශපාලන කටයුතු සඳහා භාවිත නොකළ යුතුය.
  8. ඡන්ද විමසීම අවසන් වු පසුව ඉතා සන්සුන්ව කටයුතු කළ යුතුය. මුස්ලිම් ප‍්‍රජාව ඕනෑම අවස්ථාවක සාමය සහජීවනයට රුකුල් වන අයුරින් කටයුතු කළ යුතුයි.

මස්ජිද් පරිපාලකයන්, මුස්ලිම් ආගමික වියතුන්, ආගමික ප‍්‍රධානීන් මෙන්ම ජම්යියතුල් උලමා සංවිධානයේ ශාඛාවල සේවයේ යෙදී සිටින්නන් ඉහත මාර්ගෝපදේශ අනුගමනය කර ඔවුන් ඇසුරු කරන ප‍්‍රදේශවාසී මුස්ලිම්වරුන්ටද අවශ්‍ය මගපෙන්වීම් ලබා දිය යුතු බව අප සංගමය කාරුණිකව ඉල්ලා සිටියි.

 

අෂ් ෂෙයික් ඒ.සී. අගාර් මුහම්මද්

උප සභාපති

සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය

Related Posts

ලෝක මුස්ලිම් ලීගය විසින් සංවිධානය කරන ලද ආසියානු ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සමුළුවට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සභාපති තුමා සහභාගී වී ‘විවිධත්වයේ එකමුතුකම’ මැයෙන් දේශනයක් ද පැවැත්වීය

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *