29.01.2020 /03.06.1441
ලොවම කම්පා කරමින් සිටින කොරෝනා වයිරසය චීනයේ දහස් ගණනකට ආසාදනය වී ඇති අතර ලොව තවත් රටවල් කිහිපයකින්ද මෙම රෝගය වැළඳුනු පුද්ගලයන් කිහිපදෙනෙකු පිළිබඳව හා මරණයට පත්වූවන් පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතියි. මරණයට පත් වුවන්ගේ පවුල්වලට අපගේ හෘදයාංගම ශෝකය ප‍්‍රකාශ කරන අතර ආසාදන වුවන් ඉක්මන් සුවය ලබන්නට අල්ලාහ්ගෙන් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සභාව ප‍්‍රාර්ථනා කරන්නෙමු.
එමෙන්ම මෙවන් දුර්භික්‍ෂ අවස්ථාවල අල්ලාහ්ගේ දයාව හා ආශීර්වාදය ලබා ගැනීම සඳහා කළ යුතු විශේෂ යහකි‍්‍රයා හා ප‍්‍රාර්ථනාවල යෙදෙන මෙන්ද මුළු ලොවටම ඇති වී තිබෙන මෙම අවාසනාවන්ත තත්ත්වය ඉක්මනින්ම මගහරවන මෙන් අල්ලාහ්ගෙන් අයැද සිටින මෙන්ද සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සභාව සැමගෙන් ඉල්ලා සිටියි.
මෙවන් අවස්ථාවකදී අනවශ්‍ය හා අසත්‍යය පුවත් සමාජ ගත කිරීම හා සමාජ ජාලා වල ප්‍රචාරණය කිරීම අනවශ්‍යය ගැටළු හා ජනයා තුළ අනිසි බියක් ඇති වීමට හේතු විය හැකි හෙයින් ඉන් වැළකී සිටින මෙන් ඉල්ලා සිටින්නෙමු.
එමෙන්ම සෞඛ්‍ය නිලධාරීන් හා අදාල බලධාරීන් විසින් මහජන ආරක්‍ෂාව සඳහා ලබා දෙනු ලබන උපදෙස් හා නිර්දේශ එලෙසින්ම අනුගමනය කළ යුතු අතර රෝග අවදානම තිබෙන ස්ථානවලට යාමෙන් වැළකී සිටින මෙන් ඉස්ලාමය මගපෙන්වා ඇත. යම් ප‍්‍රදේශයක වසංගතයක් පැතිර තිබෙන බව දැන ගත් විට එම ප‍්‍රදේශයට නොයන ලෙසද තමා එක් ප‍්‍රදේශයක සිටින විට එහි වසංගතයක් පැතිරුනහොත් එම ප‍්‍රදේශයෙන් පිට නොවන මෙන්ද නබි මුහම්මද් (සල්) තුමාණන් කියනු තමා ඇසු බව අබ්දුර් රහ්මාන් ඉබ්නු අව්ෆ් (රලි) තුමාණන් දන්වා සිටියි. (ග්‍රන්ථය : බුහාරී 5729)
මෙවන් ව්‍යසන අවස්ථාවල අප පාරායණය කිරීම සඳහා පහත ප්‍රාර්ථනාව කාරුණික නබි මුහම්මද් (සල්) තුමාණන් අපට උගන්වා ඇත;
اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْبَرَصِ، وَالْجُنُونِ، وَالْجُذَامِ، وَمِنْ سَيِّئِ الأَسْقَامِ
අරුත: අල්ලාහ්, සුදු කබර, පිස්සුව, ලාදුරු හා භයානක රෝගවලින් ඔබගේ ආරක්‍ෂාව පතමි. (ග්‍රන්ථය : අබූදාවුද් 1554)
මෙවන් දරුණු රෝග හා ව්‍යසනවලින් අල්ලාහ් අපව ආරක්‍ෂා කරත්වා. ආමීන්.
අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්
මහ ලේකම්,
සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව (සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සභාව)