02.04.2020
කෝවිඩ්-19 වයිරසය නිසා අභාවයට පත්වන්නන්ගේ මෘත දේහය ආදාහනය කිරීම
කෝවිඩ්-19 හෙවත් කොරෝනා වයිරසය අසාදනය වීමෙන් මරණයට පත්වන මෘතදේහ භූමදානය නොකර ආදාහනය කිරීම සම්බන්ධයෙන් 2020 මාර්තු 31 වෙනි දින ප්‍රකාශයට පත්කළ මාර්ගෝපදේශයට, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව හා ශ්‍රී ලංකාවේ සමස්ත මුස්ලිම් ප්‍රජාව තම දැඩි කණගාටුව ප්‍රකාශ කර සිටිමු. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයෙහි පැහැදිලිව සඳහන් වන්නේ කෝවිඩ්-19 ආසාදනය වීමෙන් මරණයට පත්වන්නන් භූමදානය ද කළ හැකි බවයි. එහෙයින් රටවල් ගණනාවක්ම ආදාහනය වෙනුවට භූමදානය යන ක්‍රමයද ක්‍රියාවට නංවති.
දැනට පවතිත්නා වූ මෙම විකල්පයක් නොමැති තත්ත්වය නිසා, මෘත දේහයක් බලහත්කාරයෙන් ආදාහනය කරනු ලැබුවහොත් එය මුස්ලිම්වරුන්ට පාපී ක්‍රියාවක් ලෙස නොසැලකේ. එමෙන්ම මෙම කාලය තුළ ඉවසීමෙන් කටයුතු කරන ලෙසත්, මරණයට පත් වූ පුද්ගලයාට ස්වර්ගයේ උසස් තත්ත්වයක් ලබා දෙන ලෙසත් අප සැමදෙනා යාච්ඤා කරමු.
දැනට අප මුහුණ දෙමින් සිටින කාලවකවානුව මෙයට පෙර අප මානව ඉතිහාසයේ කිසි විටෙක ඇති නොවනු සංවේදජනක අවදියක් බව විශේෂයෙන් කිව යුතු නැත. ශ්‍රී ලංකාව පමණක් නොව සුපිරි බලවතුන් යැයි කියා ගන්නා රටවල් පවා මෙම ව්‍යසනය ඉදිරියේ අන්ත අසරණ වී සිටිති. ඒ අනුව අපගේ රජයද මෙකී නොකී සියලු පියවර ගන්නේ ජනතා සුබසාධනය අරමුණු කරගෙනය යන කරුණ අප කිසි විටෙක අමතක නොකළ යුතුය. එනිසා අපගේ ලාංකික සහෝදර ජනකොටස් සේම මුස්ලිම් අපද ඒ සඳහා රජයට සම්පුර්ණ සහයෝගය ලබා දිය යුතුය. මෙරට වැසියන් ලෙසින් එය අපට පැහැර හැරිය නොහැකි වගකීමකි.
මෙම කොරෝනා ව්‍යසන සමයෙහි පමණක් නොව මෙයට පෙර ඇති වුනු ජාතික හදිසි තත්ත්වයන්, ආපදා සහ අර්බුද අවස්ථා සියල්ලෙහිම රජයේ නීති නිර්දේශ හා මගපෙන්වීම් අනුව කටයුතු කරන මෙන් අප ලාංකික මුස්ලිම් ප්‍රජාවට උපදෙස් දෙමින් සිටි ආකාරය හා ලාංකික මුස්ලිම්වරුන්ද එයට පුර්ණ ලෙසින් කීකරු වී කටයුතු කළ හා කරමින් සිටින ආකාරයද අප මෙවිට රජයට සිහිපත් කරනු කැමැත්තෙමු.
මෙම අවස්ථාවෙහි එක් වැදගත් කරුණක් අප මුස්ලිම් ප්‍රජාවට කියනු කැමැත්තෙමු. මුස්ලිම්වරුයෙකු අභාවයට පත් වූ විට ඔහුගේ හෝ ඇයගේ දේහය ආදාහනය නොකර භූමදානය කිරීම අපගේ දැඩි ආගමික අවශ්‍යතාවකි. එහෙයින් “කෝවිඩ්-19 ආසාදනය වැළැක්වීම හා පාලනය කිරීම සඳහා මෘත දේහයක් ආරක්ෂාකාරීව කළමනාකරණය කිරීම” යන මැයෙන් 2020 මාර්තු 20 වෙනි දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ හුවා දක්වමින් කොරෝනා ආසාදනය නිසා අභාවයට පත්වන ලාංකික මුස්ලිම්වරුන් විෂයයෙහි රජයේ වත්මන් ස්ථාවරයේ වෙනසක් ඇති කර ගන්නට හැකිද යැයි අප හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව හුදෙක් සඳහන් කර සිටිමු.
2020 මාර්තු 31 වෙනි දින ප්‍රකාශයට පත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයට අනුව කෝවිඩ්-19 ආසාදනය නිසා මරණයට පත්වන්නන්ගේ දේහය, නිර්දේශිත විශේෂ මගපෙන්වීම් අනුව කටයුතු කරමින්, ආදාහනය හෝ භූමදානය කළ හැකිය යැයි විකල්ප ලබා දී ඇත. බොහෝ රටවල ඒ ඒ ජන කොටස්වලට ඔවුන්ගේ ආගමික මගපෙන්වීම් හා විශ්වාසය අනුව කොරෝනා වයිරසයට ගොදුරු වුවන්ට – අදාළ විශේෂ නිර්දේශ පිළිපදිමින් – අවසන් කටයුතු කිරීමට අවසර දෙන තත්ත්වයද මෙවිට අප රජයට ඉස්මතු කර පෙන්වීමට අදහස් කරමු.
මේ අනුව අප මෙරට රාජ්‍ය බලධාරීන්ගෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයට අනුව භූමිදානය ද ක්‍රමයක් වන හෙයින් මෙම ආසාදනය හේතුවෙන් මරණයට පත්වූ මුස්ලිම්වරයෙකුගේ මෘතදේහ භූමදාන කිරීමට හැකිවන පරිදි සංශෝදනය කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
එමෙන්ම කොරෝනා වයිසරය අසාදනය වීම නිසා ඇති වන්නේ යැයි සෞඛ්‍ය අංශ විසින් විස්තර කර ඇති රෝග ලක්‍ෂණ කිසිවක් අපට හෝ අපගේ නිවැසියන්ට ඇතිව තිබේ යැයි සැකයක් ඇති වුනු වහාම එය අදාළ බලධාරීන්ට දන්වා සිටින මෙන්ද අප සභාව ලාංකික මුස්ලිම්වරුන්ගෙන් නැවතත් ඉල්ලා සිටිමු.
වෙනත් රෝග හෝ ආසාදන මෙන් නොව කොරෝනා වයිසරය නිසා ඇති වන රෝගී තත්ත්වය අන් අයටද අවදානම් ඇති කළ හැකි හෙයින් මේ විෂයයෙහි මුස්ලිම් අප විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මන්දයත් පොදු යහපත විෂයන්හි සැලකිලිමත් වීම මුස්ලිම්වරයෙකුගේ කිසිසෙත් පැහැර හැරිය නොහැකි දැවැන්ත ආගමික වගකීමක් වන හෙයිනි.
ඒ අනුව අතීතයේ අප කටයුතු කළා සේම මෙම අර්බුද අවස්ථාවෙහිද රජයේ සියලු නීති නියාමන හා මගපෙන්වීම්වලට අවනත වෙමින් කටයුතු කරන මෙන් ලාංකික මුස්ලිම් ප්‍රජාවගෙන් අප උදක් ඉල්ලා සිටිමු. ශුද්ධ අල් කුර්ආනයේ මගපෙන්වීම මෙන්ම කාරුණික නබි මුහම්මද් තුමාණන්ගේ ප්‍රායෝගික ආදර්ශයද මෙයම වේ.
මුළු රටම යම් තැතිගැන්මකට ලක්ව සිටින මෙම අවස්ථාවේ මානුෂීය සංවේදිතා සහ හැගීම්වලට ගරුකරමින් අන්‍යෝන්‍ය සහයෝගයෙන් ඉවසීමෙන් හා සන්සුන්ව කටයුතු කරන මෙන් අප ලාංකික සැමගෙන්ම ඉල්ලා සිටිමු.
එමෙන්ම මෙම ව්‍යසනයෙන් අප රට ඇතුලු මුලු ලොවම මුදවා ගන්නා මෙන්ද, මිනිස් වර්ගයාගේ කුමන පාපයන් නිසා මෙම පරීක්‍ෂණය එවා ඇත්තේද එම පාපයන් සමා කර මෙය නිම කරන මෙන්ද සර්වබලධාරී අල්ලාහ්ගෙන් අප ඉතා බැගෑපත්ව අයැද සිටිමු.