කෝවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් පීඩා විඳින අයට උපකාර කරමු

යොමු අංකය : ACJU/NGS/2021/184

2021 අගෝස්තු මස 31 වෙනිදා

 

කොවිඩ්-19 වසංගත තත්ත්වය මේ වන විටත් රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මේ නිසා බොහෝ ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති. සෑම දිනකම බොහෝ දෙනෙක් අප හැර මිය යති. තවත් බොහෝ දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත වන අතර තවත් බොහෝ දෙනෙක් නිවසේම ස්වයං නිරෝධායනයේ යෙදෙති.

මෙවන් තත්ත්වයකදී සමාජය සමඟ බැඳී ජීවත් වන ලෙසත්, සමාජ සත්කාරයන්ට හවුල්වන ලෙසත්, අසරණයින්, විපතට පත්වූවන් හා දුප්පතුන් හඳුනාගෙන ඔවුන්ට උපකාර කරන ලෙසත් ඉස්ලාමය අපට දිරිගන්වා ඇත.

නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. “යමෙක් තම සහෝදරයාට උපකාර කරමින් සිටින තුරා සර්වබලධාරී අල්ලාහ්, ඔහුට උපකාර කරමින් සිටියි. කවරෙකු තම සහෝදරයෙකුගේ අපහසුතාවන් ඉවත් කිරීමට කටයුතු කරන්නේද, ඒ වෙනුවෙන් අල්ලාහ්, මරණින් මතු විනිශ්චය දිනයේදී ඔහුගේ අපහසුතාවන් ඉවත් කරයි.” (මූලාශ්‍රය : මුස්ලිම්)

මෙම ඛේදවාචකයේදී විපතට පත් වූවන්ට හැකි සෑම අයුරකින්ම උපකාර කිරීමට ඉදිරිපත් වන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සමස්ත ජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටියි.

පසුගිය කාලයේ දී, අප සභාවේ මඟපෙන්වීම යටතේ, අප ප්‍රාදේශීය ශාඛාවල (DRCC) ආපදා සහන සම්බන්ධීකරණ මධ්‍යස්ථාන, මස්ජිදයන් හරහා සහ පෞද්ගලික වශයෙන් ඔබ විවිධ ආධාර සහ සහන සේවාවන් ලබා දී ඇත. එකී සහන සේවාවන් නැවත ආරම්භ කරන ලෙසත් විශේෂයෙන් රෝගයෙන් පෙලෙන අය වෙනුවෙන් කටයුතු කිරීමට ඉදිරිපත්වන ලෙසත් අප සභාව ඉල්ලා සිටී.

විශේෂයෙන්, රෝග ලක්ෂණ ඇති අයට අවශ්‍යවන (Antigen, PCR වැනි) පරීක්ෂාවන් ඉක්මනින් සිදුකිරීමේ හදිසි පිළියම් හා විධිවිධාන ප්‍රදේශයේ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කොට ඉටු කරන ලෙස අප සභාව සිය ප්‍රාදේශීය ශාඛාවන්, මස්ජිද් සම්මේලන සහ සමාජ ක්‍රියාකාරීන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටී.

වර්තමානයේ රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින හෙයින් සෞඛ්‍ය අංශයන් සමඟ සාකච්ඡා කර සුදුසු ස්ථාන තෝරාගෙන තාවකාලික කෝවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට ඉදිරිපත් වන මෙන් අප සභාව අදාළ ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටී. නිවසේ නවාතැන් හිඟකම හේතුවෙන් රෝගය සෙසු අයට බෝවීමේ අවදානමක් පවතින නිසා එම ප්‍රදේශයේ පහසුකම් ඇති ස්ථාන පිළිබඳව අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ප්‍රාදේශීය මට්ටමින් රෝගීන් නිරෝධායනයට යොමුකිරීමේ විධිවිධාන සලසන ලෙසද අප සභාව ඉල්ලා සිටී.

ඊට අමතරව ඇතැම් අරාබි විද්‍යාලවල සහ මස්ජිදයන්වල සේවය කරන ආචාර්යවරුන්, ඉමාම්වරුන්, මුඅද්දින්වරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලවල මාසික වැටුප් නොගෙවන බවට අපට තොරතුරු ලැබී ඇත. එම නිසා මේ සම්බන්ධව ත්‍යාගශීලී වී වැටුප් කඩිනමින් ගෙවන ලෙස අප සභාව අදාළ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම දෛනික හා මාසික වැටුප් සඳහා වැඩ කරන අයගේද නියමිත වේලාවට වැටුප් ගෙවීමට කටයුතු කරන ලෙසද අප සභාව කාරුණිකව ඉල්ලා සිටී.

සර්වබලධාරි අල්ලාහ්, අපගේ උත්සාහයන් පිළිගනිත්වා! අපේ ජීවිතයේ අභිවෘද්ධිය උදා කරත්වා! මෙලොවෙහි හා පරලොවෙහි කරුණාව දක්වත්වා!

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *