ගුරුවරුන් පිළිබඳව ඉස්ලාමීය දැක්ම

ACJU/NGS/2022/345

2022.10.05 (1444.03.08)

 

ඉගැන්වීම යනු සමාජය ගොඩනැගීම සඳහා පෞරුෂයන් නිර්මාණය කිරීමේ කාර්යය යි. එය උතුම් සදකතුල් ජාරියා නැමැති දානයකි. වෘත්තියක් ලෙස නොසලකමින් කරන පුණ්‍ය කටයුත්තකි. පරලොවදී සර්වබලධාරී අල්ලාහ්ට වගවිය යුතු වගකීමකි. සිසුන් පරිණත කිරීමේ විශාල කාර්යයකි. පොදුවේ ගත් කල, ඉගැන්වීම වනාහි මහත් සත් ක්‍රියාවකි.

ගුරුවරුන් සිසුන්ගේ විශ්වාසය වේ. සෑම සිසුවෙකුගේම අනාගතය සාර්ථක කරවීමේ අමානතය උසුලාගත් අය වෙති.

ගුරු වෘත්තිය වනාහි සාමාන්‍ය වෘත්තියක් නොවේ. ඒ සඳහා කැපවීම, ත්‍යාගශීලිත්වය, ආදරය, සැලකිල්ල, ඉවසීම, වෘත්තීය මගපෙන්වීම, කියවීම, ඉගැන්වීම වැනි කුසලතා රැසක් අන්තර්ගත වූවකි.

ඉගැන්වීම සර්වබලධාරී අල්ලාහ්ගේ කාර්යයකි. මිනිසා නොදන්නා සියල්ල අල්ලාහ් ඔහුට ඉගැන්වූ බව අල්-කුර්ආනයේ සඳහන් වේ.

“ඔහු අල් කුර්ආනය ඉගැන්නුවේය. ඔහු මිනිසා මැව්වේය. ඔහු පැහැදිලි කතාව ඔහුට(මිනිසාට) ඉගැන්නුවේය.” (සූරා අර්-රහ්මාන්: 2-4)

සර්වබලධාරී අල්ලාහ්, නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව හඳුන්වා දුන් අවස්ථාවේදී ඔහුව වර්ණනා කරනු ලැබුවේ, “ඔවුනට(ජනයාට) පාරායනය කරන ඔවුන්ව පිවිතුරු කරන ධර්ම පුස්තකය හා ප්‍රඥාව ඔවුනට හදාරවන, රසූල්වරයෙකු” යනුවෙන් ය. (සූරා අල්-ජුමුආ: 2)

එලෙසම නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ද “අල්ලාහ් විසින් තමාව මෙලොවට එවා ඇත්තේ ගුරුවරයෙකු වශයෙනි” යනුවෙන් තමන් ගැන සඳහන් කර ඇත. තවත් අවස්ථාවක, “සර්වබලධාරී අල්ලාහ් තමාව එව්වේ දැඩිව කටයුතු කිරීමට හෝ කිසිවෙකු නොමඟ යැවීමට හෝ නොව. ඊට පටහැනිව, ඔහු තමාව පත් කොට ඇත්තේ (දහම දේශනා කිරීමට) පහසු කරවන දේශකයෙකු ලෙස ය.” (මූලාශ්‍රය: සහීහ් මුස්ලිම්)

එසේම නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන්ගේ සමකාලීන් සගයින් වූ සහාබිවරුන් ද එතුමා තම ගුරුවරයා ලෙස සැලකූහ. ලොව පහළ වූ සියලු නබිවරුන් ගුරුවරුන් ය. එවැන් නබිවරුන්ගේ නියෝජිතයන් වු ආගමික විද්වතුන් ද සැබෑ ගුරුවරුන් වේ.

ලෝකයේ සියලු ගුරුවරුන්ට ගෞරව කිරීම සහ ඔවුන්ගේ සේවය ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඔක්තෝබර් 5 වන දින ‘ජාත්‍යන්තර ගුරු දිනය’ ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ‘අධ්‍යාපනික වෙනස ගුරුවරුන්ගෙන් ඇරඹේ’ යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර ගුරු දිනය සමරනු ලබයි.

යහපත් ගුරු ප්‍රජාවකට ඉතා හොඳ ශිෂ්‍ය ප්‍රජාවක් ගොඩනැගිය හැකිය. එබැවින් සර්වබලධාරී අල්ලාහ් වෙනුවෙන් කැපවීමෙන් හා සමාජීය අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් සහ පිරිසිදු චේතනාවෙන් (ඉක්ලාස්) තම ඉගැන්වීමේ කාර්යය ඉටු කරන සියලු ගුරුවරුන්ට අල්ලාහ් නිදුක් නීරෝගී සුවයක් ලබා දෙත්වා’යි ප්‍රාර්ථනා කරමු.

ගුරුවරුන්ට සැමවිටම ගරු කළ යුතුයි. ඔවුන්ට ගෞරවාන්විතව සලකමින් ඔවුන්ට සමාජයේ නිසි පදවිය පිරිනැමීම අපගේ සදාචාරමය යුතුකමකි. ඉගැන්වීම යනු සිසුන්ගේ තෘප්තිය සහ ප්‍රාර්ථනාව ගෙන දෙන විශිෂ්ට වෘත්තියකි. ඒ නිසා උනන්දුවෙන්, කැමැත්තෙන් මෙම උසස් සේවය කිරීමට අපේ තරුණ ප්‍රජාව තුළ පරිණතභාවය ඇති කිරීම අත්‍යවශ්‍ය වෙයි.

සැලකිලිමත්භාවය, ආදරණීයත්වය සහ දිරිගන්වන වචන සමඟ තම සිසුන් වෙත ළඟා වන ගුරුවරුන් කිසිවිටෙකත් අසමත් නොවේ; එමෙන්ම ඔවුන්ගේ සිසුන් ද කිසි විටෙකත් අසමත් නොවේ. මෙවන් ඵලදායී ඉගැන්වීමක් කළ හැකි සහ සිසුන්ගේ හැසිරීම් සහ ආකල්ප කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරන ආදර්ශමත් ගුරුවරුන් ලෙස පත්වීමට අපගේ සුබ පැතුම් සහ ප්‍රාර්ථනාවන් පිරිනමන්නෙමු.

සර්වබලධාරී අල්ලාහ්! අපගේ අවසාන ඉලක්කය වූ අල්ලාහ්ගේ තෘප්තිය හා ස්වර්ගය හිමකර ගැනීමට අපගේ මෙම යහක්‍රියාවන් පිළිගෙන පරිපූර්ණ කුසල් ලබා දෙනු මැනව.

 

මුෆ්ති එම්. අයි. එම්. රිස්වි

සභාපති

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *