ජනාසාවක අවසන් කටයුතු සම්බන්ධව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ විශේෂ ඉල්ලීම

2020.03.27

අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු

ජනාසාවක අවසන් කටයුතු සම්බන්ධව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ විශේෂ ඉල්ලීම

මුළු ලොවම එකම එක් ව්‍යසනයක් නිසා කම්පාවට පත්ව සිටිනු අපි දනිමු. කොරෝනා නම් වන මෙම වසංගතයට සිය ගණනින් දැනටමත් ගොදුරු වී මිය ගොස් ඇති අතර විශාල ආසාදිතයන් සංඛ්‍යාවක් රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටියි. මෙම තත්ත්වය පාලනය කිරීමේ එක් පියවරක් ලෙසින් ලොව රටවල් සෑම එකක්ම පාහේ ඇඳිරි නීතිය පනවා ඇත. අන් බොහෝ රටවල මෙන් අප රටේද දෛනික සියලු කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වී ඇත.

මෙම ව්‍යසනයෙන් මීදීම පිණිස රජය විසින් ඇඳිරි නීතියට අමතරව තවත් විවිධ පියවර ගණනාවක්ම ගනිමින් සිටින අතර මුස්ලිම් ප‍්‍රජාවද රජයේ නීති නිර්දේශවලට අවනත වෙමින් නීති ගරුක පුරවැසියන් ලෙස කටයුතු කරමින් පෙර නොවිරූ අන්දමින් පස්වේල සලාතය සහ සිකුරාදා ජුමුආ නැමදුම තමතමන්ගේ නිවෙස්වලම ඉටු කර රජයේ නියෝග පරිදි සියලුම ආකාරයේ ආගමික හා සමාජමය එක් රැස්වීම්ද නවතා දමා ඇත. එමෙන්ම මුස්ලිම් ප‍්‍රජාව මෙරට හා රට වැසියන්ගේ ආරක්ෂාව පතා සහය දක්වමින් සිටියි.

මේ අතර අල්ලාහ්ගේ අභිමතය පරිදි කෙනෙකු අභාවයට පත් වූ විට එයට අදාළව මුස්ලිම්වරුන්ට ෆර්ලු කිෆායා වගකීම් කිහිපයක් තිබෙන හෙයින් එය ඉටු කිරීම පිණිස කිහිප දෙනෙකු එක්රැස්වීම යනු නොවැළැක්විය කාරණාවකි. එහෙයින් මිනිසුන් රැස්වන විට මෙම රෝගය ආසාදනය වීමේ ප්‍රවණතාවක් ඇත යැයි සෞඛ්‍ය බලධාරීන් අවවාද කර ඇත. ඒ අනුව මුස්ලිම්වරයෙකු අභාවයට පත් වූ විට පහත කරුණු අනුගමනය කරන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ලාංකේය මුස්ලිම් ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටියි:

  1. මරණයක් සිදු වු වහාම ඔබ අයත් වන පොලිස් ස්ථානයට එය පිළිබදව දැන්විය යුතුය.
  2. පොදු ජනතාවට මරණය සම්බන්ධව දන්වන විට අවසන් කටයුතු සඳහා බොහෝ දෙනෙක් එක් රැස්වීමට නොහැකි හෙයින් තම නිවෙස් වලම සිට අභාවයට පත් වූ තැනැත්තා වෙනුවෙන් ප‍්‍රාර්ථනා කරන මෙන් ඉල්ලා සිටිය යුතුය.
  3. ජනාසා නැමදුම සඳහා ගෙන යන විට අදාළ පොලිසිය විසින් අනුමැතිය දුන් සංඛ්‍යාවේ තැනැත්තන් පමණක් එය සමග යා යුතුය.
  4. මරණය සිදුවූ නිවසේ මිනිසුන් රැස්වන විට සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ ඉතා සැලකිල්ලෙන් යුතුව අනුගමනය කළ යුතුය.
  5. ජනාසාව ස්නානය කරවන අය පමණක් නොව එය සමග සුසාන භූමියට යන පුද්ගලයන් සියලු දෙනාම මුඛ හා නාස් ආවරණ නොවරදවා පැළඳගත යුතුය.
  6. ජනාසා සලාතය මස්ජිද් පරිශ්‍රයේ සිදු කළ යුතුය.
  7. ජනාසා සලාතය සඳහා සිට ගන්නා විට උරෙනුර ගැටී සිට ගැනීම සාමාන්‍ය රීතිය වුවද මෙවන් අවස්ථාවක මඳක් ඈත්ව සිට ගැනීමට ඉස්ලාමය අනුමැතිය ලබා දෙන හෙයින් එසේ සිට ගත යුතුය.
  8. භූමදානය කරන විට අත්‍යවශ්‍ය කිහිප දෙනෙකු පමණක් ඒ වටා සිටිය යුතු අතර අන් අය ඈතින් හා එක් රෝක් නොවී විසිරී සිටිය යුතුය.
  9. භූමදාන කටයුතු අවසන් වු පසු ප‍්‍රාර්ථනාවල යෙදී ඉක්මනින් සිය නිවෙස්වලට යා යුතු අතර මුසාෆහා හෙවත් අතිනත දී ආචාර කිරීමෙන් වැළකී සිටිය යුතුය.

ඉහත කරුණු අනුගමනය කරන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ලක්වාසී මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

සැ.යු. – අල්ලාහ් මෙසේ පවසයි : “අල්ලාහ් නුඹලාට පහසුව අපේක්ෂා කරන අතර නුඹලාට දුෂ්කරතාව අපේක්ෂා නොකරයි.” (සූරා අල් බකරා 185)

නබි මුහම්මද් තුමන් (සල්) මෙසේ උපදෙස් කර ඇත : “නිශ්චය වශයෙන්ම මෙය පහසු දහමකි. කවුරුන් හෝ මෙම දහම ඔහුට අසීරු කර ගතහොත් එය ඔහු අභිබවනු ඇත. (සහීහුල් බුහාරි 39)

ඉහත මාර්ගෝපදේශ මෙම ශුද්ධ කුර්ආන් වැකිය, නබිවදන හා ආගමික විශාරදයින්ගේ අදහස් පදනම් කර ගනිමිනි.

 

අෂ් ෂෙයික් එම්. එල්. එම්. ඉල්යාස්

ලේකම් – ෆත්වා කමිටුව,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *