ජාත්‍යන්තර මව් භාෂා දිනය – 2022

ACJU/NGS/2022/041

2022 පෙබරවාරි මස 21 වෙනිදා

 

මෙම ජාත්‍යන්තර මව් භාෂා දිනයේ දී සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව භාෂාමය හා සංස්කෘතික විවිධත්වය අගයමින් බහුභාෂා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරයි. මව් භාෂාව යනු අපගේ සර්වබලධාරී අල්ලාහ් අප කෙරෙහි දායාද කරන ලද ආශීර්වාදයක් බව අපි විශ්වාස කරමු.

භාෂාව යනු සන්නිවේදනය සඳහා ඉතා අව්‍යාවශ්‍ය මෙවලමක් වෙයි. වර්තමාන ලෝකයේ භාෂාවන් 7,000 කට වඩා පවතින බව වාර්තා වෙයි. මුස්ලිම්වරුන් වශයෙන් අපට, විශ්වය පුරා කතා කරන සහ සන්නිවේදනය කරන ලද මෙම සුන්දර භාෂාවන් පිළිබඳව ශුද්ධ වූ අල්-කුර්ආනය තුළින් මෙනෙහි කර දී ඇත.

“ඔහු (අල්ලාහ්) මිනිසා මැව්වේය. ඔහු පැහැදිලි කතාව ඔහුට(මිනිසාට) ඉගැන්නුවේය.” (ශුද්ධ වූ අල්-කුර්ආනය, 55:3-4)

“ඔහු (අල්ලාහ්) ආදම්ට නාමයන් සියල්ලක්ම උගන්වා, පසුව මලක්වරුන් ඉදිරියේ ඒවා ගෙන හැරදක්වා ‘(නුඹලාගේ මතයෙහි) නුඹලා සත්‍යයවාදීහු නම්, ඒවාහි නාමයන් මා වෙත දන්වවු’ යැයි ප‍්‍රකාශ කළේය.” (ශුද්ධ වූ අල්-කුර්ආනය, 2:31)

අපගේ පියාණන් වූ නබි ආදම් (අලෛහිස් සලාම්) තුමාණෝ තම දැනුම ප්‍රකාශ කිරීමට ඉගෙන ගත්තේ සර්වබලධාරී අල්ලාහ්ගෙන් බවත්, අපි සහජයෙන්ම මේ ලෝකයේ නබි ආදම් (අලෙයිහිස් සලාම්) තුමාණන්ගේ නියෝජනයක් වන බවත් ඉහත වාක්‍යයෙන් සනාථ වෙයි.

අල්-කුර්ආන් ආරම්භ හෙළිදරව්වෙහි, සර්වබලධාරී අල්ලාහ් විසින් අප නොදන්නා සියල්ල අපට උගන්වා ඇති බව සඳහන් කර ඇත. එනම්:

“(සියලූ දෑ) මැවූ නුඹේ පරමාධිපතිගේ නාමයෙන් නුඹ කියවවු. ලේ කැටියෙන් මිනිසාව මැව්වේය. නුඹ කියවවු. තවද නුඹගේ පරමාධිපති මහත් පරිත්‍යාගශීලීය. ඔහු පෑන මගින් දැනුම බෙදා දුන්නේය. මිනිසාට නොදන්නා දෑ ඔහු ඉගැන්වූයේය.” (ශුද්ධ වූ අල්-කුර්ආනය, 96:1-5)

මේ අනුව, අප පරිහරණය කරන්නා වූ භාෂාවන්ද සර්වබලධාරී අල්ලාහ් විසින් උගන්වනු ලැබුවා වූ දෑ වෙයි. “තවද අහස් හා මිහිතලය මැවීම ද නුඹලාගේ දිවවල් (භාෂාවන්) හා නුඹලාගේ වර්ණ වෙනස් වීම ද ඔහුගේ සංඥාවන් අතුරිනි. සැබැවින්ම මෙහි දැනුම ඇත්තන්ට සංඥාවන් ඇත.” (ශුද්ධ වූ අල්-කුර්ආනය, 30:22)

ජාත්‍යන්තර මව් භාෂා දිනය යනු භාෂාමය සහ සංස්කෘතික විවිධත්වය පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සහ බහුභාෂා ප්‍රවර්ධනය කිරීම සඳහා පෙබරවාරි 21 වන දින පවත්වනු ලබන ලෝක ව්‍යාප්ත වාර්ෂික සැමරුම් උත්සවයකි. මෙය වර්ෂ 1999 නොවැම්බර් 17 වන දින යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද අතර, එය 2002 දී එක්සත් ජාතීන්ගේ යෝජනාව සම්මත කිරීමත් සමඟ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නිල වශයෙන් පිළිගනු ලැබීය.

භාෂන හැකියාවෙන් තමන්ව අවබෝධ කර ගැනීමට සහ ප්‍රකාශ කිරීමට හැකියාව ලබන, සර්වබලධාරි අල්ලාහ්ගේ උදාර නිර්මාණයක් වන මිනිසා, ජීවිතයේ සෑම අංශයකින්ම මනුෂ්‍යත්වයේ දියුණුවට දායක වෙමින්, භාෂාමය හා සංස්කෘතික විවිධත්වය අගයමින් බහුභාෂාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතුයි.

අපි විවිධ භාෂාවන් මගින් සන්නිවේදනය කළද අප තුළ සර්වබලධාරී අල්ලාහ්ගේ සමස්ත මැවුම් කෙරෙහි ආදරය හා කරුණාව පතිත කරනු මැනවයි ප්‍රාර්ථනා කරමු!

 

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *