ACJU/NGS/2023/093
2023.02.21 (1444.07.29)
යම් පුද්ගලයෙකු කුඩා කල සිටම තම මානසික හැඟීම් ප්‍රකාශ කිරීමට භාවිත කරන භාෂාව ඔහුගේ මව් භාෂාව ලෙස සැලකේ.
භාෂාව යනු සන්නිවේදනය සඳහා වූ මෙවලමක් පමණක් නොවේ. එය එකී ප්‍රජාවේ සංස්කෘතිය සහ එය භාවිත කරන භූ දර්ශනය ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙසත්, සමාජයක සංස්කෘතියේ උසස් බව සහ පෞරාණිකත්වයේ සංකේතයක් ලෙසත් පවතී.
මහා කාරුණික අල්ලාහ්, භාෂාව යනු ඔහුගේ සංඥාවක් යැයි සඳහන් කර ඇත. “අහස් හා මිහිතලය මැවීම ද නුඹලාගේ දිවවල් (වලින් පිටවන භාෂාවන්) හා නුඹලාගේ වර්ණ වෙනස් වීම ද ඔහුගේ සංඥාවන් අතුරිනි. සැබැවින්ම මෙහි දැනුම ඇත්තන්ට සංඥාවන් ඇත.” (අල්-කුර්ආනය 30:22)
එමෙන්ම, මහා කාරුණික අල්ලාහ් විසින් සෑම ජන ප්‍රජාවකටම දේව දූතයෙකු යවා ඔවුන්ගේ ප්‍රජාවෙන්ම දේව පණිවිඩකරුවන් තෝරාගෙන, ඔවුන්ගේම මව් භාෂාවෙන් ඔවුන්ට අයත් ශුද්ධ වූ පණිවිඩය හෙළි කළ බවත් ඔහු සාක්ෂි දරයි.
“තම ජනයාට (දහම) පැහැදිලි කරනු පිණිස ඔවුන්ගේ බසින් මිස කිසිදු දූතයෙකු අපි නොඑව්වෙමු…” (අල්-කුර්ආනය 14:4) යැයි මහා කාරුණික අල්ලාහ් සඳහන් කර ඇත.
යම් විෂයයක් මුලින්ම අවබෝධ කර ගැනීමට සහ පැහැදිලි කිරීමට මව්භාෂාව නියම මාධ්‍යයක් යැයි ද එහි අවශ්‍යතාව හා වැදගත්කම ද මෙයින් හුවා දක්වයි.
සෑම කෙනෙකුගේ සිතීමේ හැකියාවේ වර්ධනයට සිය මව්භාෂාව බෙහෙවින් දායක වේ. නිර්මාණාත්මක අදහස් මුලින්ම පැන නගින්නේ ද මව් භාෂාවෙනි. දරුවන් මූලික අධ්‍යාපනය මව් භාෂාවෙන් ඉගෙන ගැනීම වඩා යහපත් යැයි අධ්‍යාපනවේදීන් යෝජනා කරන්නේ ද මේ හේතුවෙනි.
භාෂාමය සහ සංස්කෘතික විවිධත්වය පිළිබඳ දැනුවත් කිරීම සහ බහුභාෂා ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර මව් භාෂා දිනය යනුවෙන් පෙබරවාරි 21 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සමරනු ලබයි.
ශ්‍රී ලංකාවේ ද සිංහල, දෙමළ, ඉංග්‍රීසි, මැලේ, මේමන් සහ ආදී වාසීන් (වැදි) යන භාෂා මිනිසුන්ගේ මව් භාෂාවන් ලෙස කතා කරයි. මව් භාෂාව යනු සෑම ජන කොටසකම අනන්‍ය වූ සංකේතයකි. අපි සැවොම අපේ මව් භාෂාවට ආදරය කරන අතර අනෙකුත් භාෂාවන්ට සහ ඔවුන්ගේ සංස්කෘතික සම්ප්‍රදායන්ට ගරු කිරීමට බැඳී සිටිමු. භාෂාවන් හේතු කොට ගෙන බෙදී වෙන් නොවෙමු. අපි භාෂාමය සහ සංස්කෘතික බහුත්වවාදයට ගරු කරමින් මානව සංවර්ධනයට සහ දියුණුවට දායක වෙමු.
සර්වබලධාරී අල්ලාහ්, අප සැමට අපගේ මව් භාෂාව පිළිබඳ ගැඹුරු දැනුමක් ලබා දෙන ලෙසත්, වෙනත් භාෂාවන් ද නිසි ලෙස භාවිතයට හැකියාව ලබා දී, විශාල දැනුම් උරුමයක් නිර්මාණය කිරීමට අපට උපකාර කරන ලෙසත් අපි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු.
මුෆ්ති එම්. අයි. එම්. රිස්වි
සභාපති
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව