ජුමුආ කාල පරාසයට ගරු කිරීමක් ලෙසින් යහ කි‍්‍රයාවල යෙදෙමු

19.03.2020

ජුමුආ කාල පරාසයට ගරු කිරීමක් ලෙසින් යහ කි‍්‍රයාවල යෙදෙමු

කොරෝනා වයිසරය (COVID 19) දිවයිනේ විවිධ තැන්වලට පැතිරීමේ අවදානම පවතින බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවති. එමෙන්ම ජනයා එක්රැස් වීම මෙම රෝගය බෝවීමේ අවදානම වැඩි කරන ප‍්‍රධාන කරුණක් වන බව ජගත් සෞඛ්‍ය සංවිධානයද තහවුරු කර ඇත. මේ අනුව අපගේ රජයද මිනිසුන් එක්රැස් වීම සම්පුර්ණයෙන්ම තහනම් කර ඒ අනුව එසේ එක්රැස් වීම නීති විරෝධී කි‍්‍රයාවක් වන හෙයින් මෙම නිර්දේශයට පිටුපාන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද දැනුම් දී ඇත.

තමන්ට හෝ අනුන්ට හානි ඇති කිරීම ඉස්ලාමය හෙළා දකින අතර මේ පිළිබඳව දන්වන නබිවදන ෆික්හ් කලාවෙහි ප‍්‍රධාන මූලධර්මයකි.

ඉස්ලාමයට අනුව ජුමුආ සහ පස්වේල අනිවාර්ය සලාතයන් කණ්ඩායම් ලෙසින් ඉටු කිරීමෙන් වැළකී සිටීමට රෝගය, බිය, ගමනේ යෙදී සිටීම, රෝගීන්ට උපස්ථාන කිරීම, දැඩි සුළග හා වර්ෂාව වැනි කරුණු කොන්දේසි වශයෙන් ආගමික විශාරදයින් පෙන්වා දී ඇත. මෙවන් නොවැළැක්විය හැකි හේතු නිසා ජුමුආ සහ පස්වේල අනිවාර්ය සලාතයන් කණ්ඩායම් ලෙසින් නොපවත්වන විට එයට සමාන කුසල් අපට නොඅඩුව ලැබෙන බව නබිවදන් තුළින් සනාථ වී ඇත.

උක්ත කරුණු සැලකිල්ලට ගනිමින් ජුමුආ සහ පස්වේල් සලාතය සඳහා මස්ජිදයේ රැස් නොවී තමන් සිටින ස්ථානවලම එම සලාතයන් ඉටු කර ගන්නා මෙන් වක්ෆ් සභාව, මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව හා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව දැනුම් දී ඇති බව අපි දනිමු.

සිකුරාදා යනු මුස්ලිම්වරුන්ට අධ්‍යාත්මික කෝණයෙන් වැදගත් දිනයකි. මෙම දිනයෙහි සූරා කහ්ෆ් පාරායණය කිරීම, නබි මුහම්මද් (සල්) තුමන් කෙරෙහි සලවාත් කීම, ප‍්‍රාර්ථනා කිරීම ආදියෙහි අප අධිකව නිරත විය යුතුය.

ඒ අනුව හෙට සිකුරාදා දිනයක් වන හෙයින් සිරිත් පරිදි අපගේ ව්‍යාපාර ස්ථාන වසා දමා ලුහර් අදාන් ප‍්‍රකාශයට පත් වුනු වහාම තමන්ගේ නිවෙස්වල හා තමන් සිටින ස්ථානවලම ලුහර් සලාතයේ රකඅත් හතර මෙන්ම එහි පෙර හා පසු ඇති සුන්නත් සලාතයන්ද ඉටුකර මෙම වසංගතය අප රටෙන් මෙන්ම මුළු ලොවෙන්ම ඉවත් කර අරක්ෂාකර දෙන මෙන් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන මෙන් ඉල්ලා සිටිමු.

සැයු: ජුමුආ දිනයේ එක්තරා හෝරාවක් ඇති බවද එම හෝරාවෙහි අපගේ ප‍්‍රාර්ථනා අල්ලාහ් විසින් නිතැතින්ම පිළිගනු ලබන බව නබි මුහම්මද් (සල්) තුමාණන් පවසා තිබේ.

මෙම මගපෙන්වීම අනුගමනය කරන මෙන් සියලු මුස්ලිම් ජනයාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

 

අෂ් ෂෙයික් එම්. එල්. එම්. ඉල්යාස්

ලේකම් – ෆත්වා අංශය

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *