ජෙරුසලම සම්බන්ධයෙන් ඊශ්‍රායල ඇමතිවරයාගේ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව තරයේ හෙළා දකී

යොමු අංකය: ACJU/NGS/2024/370

2024 අගෝස්තු මස 28 වෙනිදා

 

මස්ජිදුල් අක්සා තුළ ධර්මශාලාවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක අමාත්‍ය Itamar Ben-Gvir විසින් කරන ලද ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකියි.

මස්ජිද් අල්-අක්සා සෑම මුස්ලිම්වරයෙකුගේ ම හදවත් තුළ විශාල වැදගත්කමක් දරන ස්ථානයකි. එය ඉස්ලාමයේ තුන්වන පූජනීය ස්ථානය වන අතර එය මුස්ලිම්වරුන්ගේ පළමු කිබ්ලාව (යාච්ඤා දිශාව) විය. සර්ව බලධාරී අල්ලාහ් ශුද්ධ වූ අල්-කුර්ආනයේ මස්ජිද් අල්-අක්සා ගැන මෙසේ සඳහන් කරන්නේය.

“මස්ජිදුල් හරාම්හි සිට මස්ජිදුල් අක්සා දක්වා රාත්‍රී මද කොටසක දී තම ගැත්තාව කැටුව ගිය ඔහු (අල්ලාහ්) සුවිශුද්ධ ය. (එය කෙබදු මස්ජිදයක් ද යත්) එහි අවට අප අභිවෘද්ධිමත් කළෙමු. (එලෙස අපි කැටුව ගියේ) අපගේ සාධක අතුරින් අප ඔහුට පෙන්වනු පිණිස ය. සැබැවින්ම ඔහුම ය සර්ව ශ්‍රාවක සර්ව නිරීක්ෂක වන්නේ.” (අල්-කුර්ආනය 17:01)

අන්තවාදයට උඩගෙඩි දෙන සහ ලොව පුරා මුස්ලිම් ජනතාවගේ හැඟීම් අවුස්සන මෙවැනි ප්‍රකෝපකාරී ප්‍රකාශ නිදහසේ ප්‍රචාරය වීම දැඩි කනස්සල්ලට කරුණකි.

පලස්තීනයේ මානුෂීය ව්‍යසනයට තිත තැබීමේ දී ජාත්‍යන්තර ප්‍රජාවගේ වගකීම් ඉටු කරන ලෙසත් මෙම ම්ලේච්ඡ ක්‍රියාවලට එරෙහිව නැගී සිටින ලෙසත් අපි නැවත නැවතත් ඉල්ලා සිටින්නෙමු.

ශ්‍රී ලංකා රජය සහ මුස්ලිම් ප්‍රජාව පලස්තීන ප්‍රශ්නයට අඛණ්ඩ ව සහයෝගය දක්වා ඇත. 2023.10.26 වැනි දින, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද ක්ෂණික සහ කල්පවත්නා මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සම්මත කරන ලද යෝජනාවට ශ්‍රී ලංකා රජයද පක්ෂ ව ඡන්දය ප්‍රකාශ කර ඇති බව මෙනෙහි කරමු.

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සභාපති – මුෆ්ති එම්.අයි.එම්. රිස්වි තුමා ජිනීවා සංචාරයේදී මෙම යෝජනාව අගය කරමින් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව වෙනුවෙන් නිල ලිපියක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාර දුන්නේය.

මස්ජිද් අල්-අක්සා හි ආරක්ෂාව සහ එම කලාපය තුළ යුක්තිය, නිදහස සහ සාමය ස්ථාපිත කිරීම සඳහා අපි යාච්ඤා කරමු.

සර්ව බලධාරී අල්ලාහ් පලස්තීනයේ අහිංසක විපතට පත් වූවන්ගේ දුක් වේදනා දුරු කර, ඔවුන්ට අත් වූ විපතට අධික යහගුණයෙන් ආනිසංස ලබා දී විපතට පත් වූවන්ට ආශීර්වාද කර ඔවුනට යහපත් පරිසරයක් දායාද කරනු මැනව!

 

 

මුෆ්ති එම්.අයි.එම්. රිස්වි

සභාපති

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *