දිළිඳුකම පිටුදැකීම පිළිබඳ ඉස්ලාමීය දෘෂ්ටිකෝණය

ACJU/NGS/2022/348
2022.10.17 (1444.03.20)

 

දරිද්‍රතාවය යනු ආහාර, ඇඳුම් පැළඳුම්, නවාතැන්, පිරිසිදු පානීය ජලය, අධ්‍යාපනයට ඇති ප්‍රවේශය, සමාජ අගයන් වැනි ජීවන තත්ත්වය තීරණය කරන විෂයන් අහිමි වීමකි. මෙය හුදෙක් ආර්ථික ප්‍රශ්නයක් පමණක් නොවේ. සමාජීය, මානුෂීය හා දේශපාලනික ගැටළු නිසා ද මෙවන් තත්ත්වයන් ඇති විය හැක.

සමාජයේ දියුණුවට, රටේ සංවර්ධනයට හා ප්‍රගතියට දායක විය නොහැකි ලෙස දුප්පත්කම මිනිසාව අඩපණ කරයි. එමගින් වෛරය, ඊර්ෂ්‍යාව වැනි විවිධ මානසික රෝග ඇති කරයි. මෙමගින් හරි වැරැද්ද, යහපත අයහපත අතර වෙනස හඳුනා නොගන්නා තරමට හා සාමාන්‍ය ජීවන රටාවට විරුද්ධව කටයුතු කරන අයුරින් මිනිසාව පරිවර්තනය කරයි. මිනිසාට තම මැවුම්කරුවාව අමතක කර, ඔහුව දහමේ මූලධර්මවලින් පවා බැහැර කිරීමට මගපාදයි.

නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ දරිද්‍රතාවයෙන් ආරක්ෂාව පතා ප්‍රාර්ථනා කොට ඇත. එනම්, “යා අල්ලාහ්! දහම අතහැර යාමෙන් සහ දරිද්‍රතාවයෙන් මම ඔබගෙන් රැකවරණය පතමි’ යැයි එතුමාණෝ ප්‍රාර්ථනා කරන්නෙකු විය.” (මූලාශ්‍රය: අබු දාවුද්)

එබැවින් මෙම ගැටලුවට විසඳුමක් ලෙස සහ වහල්භාවයෙන් මිනිසා නිදහස් කිරීමට ඉස්ලාමය වැඩි අවධානයක් යොමු කර ඇත.

ඉස්ලාමීය ආර්ථික විද්‍යාවේ මූලික අංගයක් වන්නේ ධනය සමාජයේ සියලු කොටස් අතර සංසරණය විය යුතු බවයි. සර්ව බලධාරී අල්ලාහ් සලාතය හා සකාතය සම්බන්ධ කර අල්-කුර්ආනයේ අණ කර ඇත. මේ අනුව සලාතය මගහැරීම මෙන්ම සකාතය නොගෙවීම ද අපායට යාමට හේතුවකි.

“සකර් (නම් අපායෙ)හි නුඹලාව ඇද දැමුවේ කුමක් ද? (එයට) ‘අප සලාතය ස්ථාපිත කරන්නන් අතුරින් නොවීමු’ යැයි ඔවුහු පවසති. ‘තවද අපි දිළින්ඳන්ට ආහාර සපයන්නන් නොවීමු.“ (අල්-කුර්ආනය, 74: 42-44)

දිළිඳුන් සහ අගහිඟකම් ඇති අය නොසලකා හැරීම දෙවියන්ව ප්‍රතික්ෂේප කිරීමේ සහ ලොව අවසාන විනිශ්චය දිනය ප්‍රතික්ෂේප කිරීමේ සලකුණක් බව අල්-කුර්ආනය සඳහන් කරයි.

“විනිශ්චය (දිනය) අසත්‍යය කරන්නා නුඹ දුටුවෙහි ද? එබැවින් ඔහුමය අනාථයාව පලවා හරින්නා. තවද ඔහු දුප්පතුන්ට ආහාර සැපයීම ගැන දිරි නොගන්වයි.” (අල්-කුර්ආනය, 107:1-3)

ඉස්ලාම් දහම තුළින් දිළිඳුකම පිටුදැකීම සඳහා සකාතය නැමැති වගකීම හඳුන්වා දී ඇත. මෙසේ අල්ලාහ් විසින් දායාද කරන ලද ධනයෙන් ඔහුගේ අණ පරිදි දුප්පතුන්ට හිමි කොටස බෙදා දීම ධනසම්පත් හිමි පොහොසතුන්ගේ යුතුකමකි.

‘අප සමූහයට යම් කාලයක් උදාවනු ඇත. එහිදී සකාතය පිරිනැමීමට සුදුස්සන් සිටිනු ඇත; නමුත් ඒවා ලබා ගැනීමට සුදුසු අය නොසිටිනු ඇත.’ යන නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පෙර නිමිත්ත, උමර් (රළියල්ලාහු අන්හු) තුමාණන්ගේ පාලන සමයේදී යෙමන් දේශයේ ආණ්ඩුකාරවරයා වූ මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමාණන් සැබෑ කර පෙන්වූහ. (වාර්තාව: අබු මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු), මූලාශ්‍රය: මුස්ලිම්)

‘උමර් ඉබ්නු අබ්දුල් අසීස් (රහ්මතුල්ලාහි අලෙයිහි) තුමාණන් මිය ගිය සමයේ, තම සකාත් මුදල් බෙදාදීම සඳහා නිවසින් පිටවන පුද්ගලයා; එය ලබා ගැනීමට සුදුසු කිසිවකු නොමැතිව ආපසු පැමිණි බව ඉතිහාසය සාක්ෂි දරයි. (වාර්තාව: අබ්දුල් රහ්මාන් ඉබ්නු සයිද් (රළියල්ලාහු අන්හු), මූලාශ්‍රය: බයිහකි)

දිළිඳුකම පිටුදැකීම සහ කුසගින්නෙන් මිනිසුන් ආරක්ෂා කිරීම දිරිගැන්වීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම ඔක්තෝබර් 17 වන දින ‘දිළිඳුකම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය’ නමින් සමරනු ලැබේ.

ජීවන වියදම ඉහළ ගොස් බොහෝ පවුල් තම දෛනික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට පවා වෙහෙසෙන සමයක සදකා, සකාත් වැනි දානමය සත් ක්‍රියාවන් නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව ඉස්ලාම් දහම තුළින් අපට උගන්වයි. මස්ජිදය කේන්ද්‍ර කර ගනිමින් මෙය ආයතනික වශයෙන් සිදුකිරීම ප්‍රදේශයේ නායකයන්, මස්ජිද් සම්මේලන, මස්ජිද් පරිපාලකයින් සහ ධනවතුන්ගේ යුතුකමකි.

සර්ව බලධාරී අල්ලාහ්, අප සියලු දෙනාව කුසගින්නෙන්, දිළිඳුකමින් හා ණය බරිත තත්ත්වයෙන් ආරක්ෂා කරනු මැනව! අප රට පවතින ආර්ථික අර්බුදයෙන් අප සියලු දෙනා මුදවා, සෞභාග්‍යමත් සමෘද්ධිමත් ජීවිතයක් පිරිනමනු මැනව!

 

අෂ්-ෂේක් එච්. උමර්දීන්

සභාපති (වැඩබලන)

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *