දුරාචාරී ලෙස ලිංගික අවශ්‍යතා සපුරාලීම පිළිබඳ නීති සම්පාදනය ACJU දැඩි ලෙස හෙළා දකී

Ref: ACJU/NGS/2024/355

2024.07.30 (1446.01.22)

 

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

ජනාධිපති කාර්යාලය,

කොළඹ.

 

මහතාණෙනි,

 

LGBTQ+ යනු ද්විලිංගිකයින්, සමලිංගික ස්ත්‍රී පුරුෂයින් සහ සංක්‍රාන්ත ලිංගික ප්‍රජාව ඒකීය ලෙස හැඳින්වීම සඳහා භාවිත කරනු ලබන කෙටි යෙදුමකි.

සර්ව බලධාරි අල්ලාහ් දෙවියන් ප්‍රථමයෙන් නබි ආදම් [Adam] (අලෙයිහිස් සලාම්) යන පළමු පිරිමියා මවා, ඉන්පසුව ඔහුට සහකාරියෙකු ලෙස හව්වා [Eva] (අලෙයිහාස් සලාම්) යන ස්ත්‍රීයද මවා, ඔවුන් දෙදෙනා තුළින් ස්ත්‍රී පුරුෂයින් ව මෙලොව ව්‍යාප්ත කළේය.

මිහිතලයේ මනුෂ්‍ය වර්ගයා ආරම්භ වූ දා පටන් පුරුෂයෙකු ලෙස උපත ලැබූ තැනැත්තා පුරුෂයෙකු ලෙස ම ජීවත් වී, අභාවයට පත් වීම සහ ස්ත්‍රීයෙකු ලෙස උපත ලැබූ තැනැත්තිය ස්ත්‍රීයෙකු ලෙස ම ජීවත් වී, අභාවයට පත් වීම ශිෂ්ට චාරිත්‍රයක් වශයෙන් මිනිස් ස්වභාවයට අනුගතික දෙයක් වශයෙන් පැවත එයි.

එලෙසම, එදා සිට අද දක්වා ඉතිහාසය මුළුල්ලේම ආගමික හා සංස්කෘතික ක්‍රියාදාමය වූයේ විවාහය නැමැති ආචාර ධර්මය මගින් ස්ත්‍රීය හා පුරුෂයාව සංයෝග කර, එමගින් මානව සංහතිය ව්‍යාප්ත කිරීමයි.

පුරුෂයෙක් තමා ස්ත්‍රීයෙකු බවට ද ස්ත්‍රීයක් තමා පුරුෂයෙකු බවට ද වෙනස් කිරීමෙන් උපතින් ලද ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට උත්සාහ දැරීම සහ පුරුෂයෙකු තමාගේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තමා වැනිම පුරුෂයෙකු ද ස්ත්‍රීයක් තමාගේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තමා වැනිම ස්ත්‍රීයෙකු ද තෝරා ගැනීමේ සමලිංගිකත්ව හෝ විෂම ලිංගික ආකර්ෂණ සංස්කෘතිය ස්වභාවධර්මයට සහමුලින්ම පටහැනිය.

නිදහසේ නාමයෙන් පුරුෂයින් සමග පුරුෂයින් ද ස්ත්‍රීන් සමග ස්ත්‍රීන් ද කාම සබඳතා පවත්වා ගැනීමේ මෙවන් සමලිංගික ක්‍රියා, අශික්ෂිත ක්‍රියා යැයි සියලු ආගම් සහ සංස්කෘතීන් විසින් හෙළා දකී.

පුරුෂයෙක් තවත් පුරුෂයෙකු සමග තම කාම ආශාවන් සපුරා ගැනීමේ මෙම අශිෂ්ට සංස්කෘතිය අදට අවුරුදු 5000 කට පමණ පෙර ජීවත් වූ වක්තෘවරයෙකු වන ලූත් [Lot] (අලෙයිහිස් සලාම්) තුමාගේ සමාජයේ ආරම්භ වූ විට එම පාපිෂ්ඨ ක්‍රියාවේ යෙදුනු පිරිස, එය අනුමත කළ පිරිස සහ එම පාපීය ක්‍රියාව වැළැක්වීමට කිසිඳු ප්‍රයන්තයක් නොගෙන නිහඬව සිට පිරිස ආදී සියල්ලන්ම සහමුලින්ම විනාශයට පත් කරන ලද ඉතිහාසය අල්-කුර්ආනයේ පරිච්ඡේද කිහිපයක ම සඳහන් වී ඇත.

මෙම අශිෂ්ට ක්‍රියාව ලොව එතෙක් කිසිවෙකු විසින් සිදු නොකරන ලද නින්දා සහගත පිළිකුල් ක්‍රියාවක් බව ද එම ක්‍රියාවේ නිරත වූවන් අල්ලාහ් විසින් පනවන ලද සීමාවන් ඉක්මවා ගිය හා ස්වභාවධර්මයේ නියමයන් කඩ කල අපරාධකරුවන් බව ද ඔවුන් ජීවත් වූ නගරය උඩු යටිකුරු කර, ඔවුන් මතට ගල් වර්ෂාවක් ඇද හැලීමට සලසා ඔවුන් විනාශ කරනු ලැබූ බව ද අල්-කුර්ආනය අවධාරණය කරයි.

මිනිසුන් පමණක් නොව සිව්පා සතුන්, පක්ෂීන් ඇතුළු අනෙක් ජීවීන් පවා තම ලිංගික අවශ්‍යතා සපුරාලීම සඳහා ද අභිජනනය වැඩි කර ගැනීම සඳහා ද පොදුවේ සමලිංගිකත්වය තෝරා නොගත් බවට විද්‍යාව සාක්ෂි දරයි.

ඉහත කරුණුවලට අනුකූලව, මෙලෙස සමලිංගිකයින් යැයි හැඳින්වෙන ඉතා සුළු පිරිසක‌ගේ ඉල්ලීම පිළිගෙන සර්වබලධාරී දෙවියන් විසින් ස්ථාපිත කරන ලද ස්වභාවධර්මයේ නියමයන්ට පටහැනි හා ලෝක සමාජයන් විසින් පුළුල්ව පිළිගන්නා ලද ශිෂ්ට මානව සදාචාරවලට ප්‍රතිවිරුද්ධ එම ඉල්ලීම නීතිගත කිරීම මගින් නිසැකයෙන්ම අපගේ මතු පරපුර විවිධ ගැටලු, මාරාන්තික රෝග සහ සමාජීය හා සංස්කෘතික පිරිහීම්වලට මුහුණ දෙනු ඇත.

එහෙයින්, අප මව් රටේ සංස්කෘතියට පරස්පර විරෝධී මෙවන් සංකල්ප නීතිගත කිරීමට ලාංකික මුස්ලිම් ප්‍රජාව වන අපි දැඩි විරෝධය පළ කරන අතර ගරු ජනාධිපති තුමාගෙන් සහ පාර්ලිමේන්තුවෙන් මෙම අශිෂ්ට ක්‍රියාව නීතිගත කිරීමට කටයුතු නොකරන මෙන් ඉල්ලා සිටිමු. තවද ආගමික, සමාජීය හා සංස්කෘතික පිරිහීම් රැසකට සාධක වන මෙවන් සංකල්ප නීතිගත කිරීමේ පනත් කෙටුම්පතට සහයෝගය නොදක්වන ලෙස මහ ජනතාවගෙන්ද ඉල්ලා සිටිමු.

ස්තූතියි,

 

අෂ්-ෂෙයික් එස්. උමර් දීන්

සභාපති (වැඩ බලන)

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *