දුල් කඃදා මාසය යනු ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ එකොළොස්වන මාසයයි. මෙය ෂව්වාල් මාසයට පසු උදාවන මාසයයි.
දුල් කඃදා මාසය ගැන
දුල් කඃදා මාසය යනු අල්-කුර්ආනයේ අල්-අෂ්හුරුල් හුරුම් නොහොත් ශුද්ධ වූ මාස ලෙස හඳුන්වනු ලබන මාසයන් හතරෙන් එකකි.
“අහස් හා මිහිතලය මැවූ දින (සිට) අල්ලාහ්ගේ (ආරක්ෂිත) ලේඛනයෙහි ඇති පරිදි සැබැවින්ම අල්ලාහ් අබියස මාස ගණන මාස දොළොහකි. ඒවායින් ශුද්ධ වූ (මාස) හතරකි.” (අල්-කුර්ආනය 2:36)
අබු බක්ර් (රළියල්ලාහු අන්හු) තුමාණෝ වාර්තා කරයි; “නියත වශයෙන්ම කාලය, අල්ලාහ් විසින් අහස් හා මහපොළොව මැවූ දිනයේ මෙන් ඒවා (පැරණි) තත්ත්වයට භ්‍රමණය වී පැමිණ ඇත. අවුරුද්දක් යනු මාස දොළහකි. එයින් මාස හතරක් ශුද්ධ වූ මාසයන් වෙයි. (ඒවායින්) අඛණ්ඩ මාස තුනක් ඇත. ඒවා නම්; දුල් කඃදා, දුල් හිජ්ජා සහ මුහර්රම් යන මාසයන් වේ. තවද, ජුමාදල් ආකිරා සහ ෂඃබාන් මාසය අතර “මුලර්” ගෝත්‍රිකයින්ගේ මාසය වන රජබ් මාසය වේ.” යැයි නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. (මූලාශ්‍රය: සහීහ් මුස්ලිම් – 1679)
එමෙන්ම දුල් කඃදා මාසය “අෂ්හුරුල් හජ්” (හජ් සමය) ලෙස නම් කර ඇති මාස තුනෙන් දෙවැන්නයි.
“හජ් (වන්දනය ඉටු කළ යුතු වන්නේ) මැනවින් දන්නා වූ මාසයන්(හි)ය. කවරෙකු එහි හජ් වතාව ඉටුකිරීම (තමන්ට) අනිවාර්යය කර ගන්නේ ද (ඔහුට) හජ් වන්දනයෙහි ලිංගික ඇසුර ද පාපකම් ද නොමනා තර්ක ද (අනුමත) නැත.” (අල්-කුර්ආනය – 2:197)
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමාණෝ මෙසේ පැවසූහ: “ෂව්වාල් මස, දුල් කඃදා මස සහ දුල් හිජ්ජා මාසයේ (ආරම්භය) දින දහය හජ් වන්දනය සඳහා අයත් මාස වේ” (මූලාශ්‍රය: තෆ්සීර් ඉබ්නු කසීර්, කොටස:01)
දුල් කඃදා මාසයේ විශේෂ සිදුවීම්:
- “නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ සිය දියණිය වන සෙයිනබ් (රළියල්ලාහු අන්හා) තුමිය සමඟ මදීනාව වෙත සංක්‍රමණය කළහ. – හිජ්රි 2 වන වසර” (මූලාශ්‍රය: අල්-බිදායා වන්-නිහායා, කොටස- 03)
- “හුදෙයිබියා සාම ගිවිසුම සිදුවීම – හිජ්රි 6 වන වසර” (මූලාශ්‍රය: අල්-බිදායා වන්-නිහායා, කොටස: 04)
- “බයිඅතුල් රිල්වාන්” නැමැති දිවුරුම සිදුවීම – හිජ්රි 6 වන වසර” (මූලාශ්‍රය: අල්-බිදායා වන්-නිහායා, කොටස: 04)
- “නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඉටු කර ඇති උම්රා වන්දනාවන් හතරෙන් තුනක්ම මෙම මාසය තුළ ඉටු කර ඇත.” (මූලාශ්‍රය: සහීහ් අල්-බුහාරි, 4148)
- “නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ උම්මුල් මුඃමිනීන් මයිමූනා (රළියල්ලාහු අන්හා) තුමිය සමඟ විවාහ වීම. – හිජ්රි 07 වන වසර” (මූලාශ්‍රය: අල්-බිදායා වන්-නිහායා, කොටස 08)
- “නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ හජ්ජතුල් වදා හෙවත් නබි තුමන්ගේ අවසාන හජ් වන්දනය සඳහා පිටත්ව යාම – හිජ්රි 10 වන වසර” (මූලාශ්‍රය: සහීහ් අල්-බුහාරි, 1709)