දෙමාපියන් පිළිබඳ ඉස්ලාමීය දෘෂ්ටිකෝණය

ACJU/NGS/2022/147

2022.06.03 (02.11.1443)

 

දෙමාපිය බැඳීම යනු බොහෝ සෙයින් ගරු කළ යුතු සබඳතාවකි. ඔවුන් සමග කාරුණිකව දයාන්විතව කටයුතු කිරීම දරුවන්ගේ වගකීමකි. ඔවුනට ඉටුකළ යුතු යුතුකම් කඩ කිරීම ඉස්ලාම් දහම සලකන්නේ මහා පාපයක් ලෙසයි.

තම දරුවන් ශාරීරිකව අධ්‍යාපනිකව හා අධ්‍යාත්මිකව රැකබලා ගැනීමේ වගකීම දෙමාපියන් සතුය. ඔවුන්ගේ ඉලක්කය වන්නේ තම දරුවන් විනයගරුක සහ ස්වාධීන පුරවැසියන් ලෙස හැදී වැඩීමයි. මේ සඳහා කැපවීමෙන් ත්‍යාගශීලීව වෙහෙසෙන ඔවුන් තම දරුවන් තමන්ට ගරු කළ යුතු යැයි බලාපොරොත්තු වෙයි.

දෙමාපියන් පිළිබඳව ශුද්ධ වූ අල්-කුර්ආනය මෙසේ සඳහන් කරයි.

”ඔහු හැර වෙනත් කිසිවෙක් නුඹලා නොනැමදිය යුතු යැයි ද දෙමාපියන් සමග යහ අයුරින් කටයුතු කළ යුතු” යැයි ද නුඹගේ පරමාධිපති (නුඹලාට) නියම කොට ඇත. ”නුඹ(ගේ භාරකාරත්වය යටතේ නුඹ) අබියස ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ ඔවුන් දෙදෙනාම මහලූ වියට පත් වූයේ නම් එවිට ඔවුන් දෙදෙනාට ‘උෆ්’ (නම් අගෞරවයෙන් හෝ කෝපයෙන් ‘චිහ්’) යන්නෙන් (පවා) නුඹ නොපවසවු. තවද ඔවුන් දෙදෙනාට නුඹ බැණ නොවදිවු. තවද ඔවුන් දෙදෙනාට නුඹ ගෞරවනීය වදන් පවසවු.” (අල්-කුර්ආනය 17:23)

“ඔවුන් දෙදෙනාට කරුණාවෙන් යුතු යටහත්භාවයේ පියාපත් හෙළවු. තවද ”මාගේ පරමාධිපතියාණනි, කුඩා අවදියේ සිටින විට ඔවුන් දෙදෙනා මා ඇති දැඩි කළාක් මෙන් නුඹ ඔවුන් දෙදෙනාට කරුණාව දක්වනු මැනවි!” යැයි ප‍්‍රාර්ථනා කරවු. (යැයි ද නුඹගේ පරමාධිපති නියම කොට ඇත.) (අල්-කුර්ආනය 17:24)

“දිනක් පුද්ගලයෙක් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, “අල්ලාහ්ගේ දූතයාණනි! යහ සබඳතාවන් පවත්වා ගැනීමට වඩාත් සුදුසුම පුද්ගලයා කවුද? යැයි ඇසීය. ඊට “ඔබේ මව” යැයි නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පිළිතුරු දුන්හ. ඔහු පසුව කවුදැ?යි විමසූහ. ඊට “ඔබේ මව” යැයි එතුමාණෝ පිළිතුරු දුන්හ. ඔහු පසුව කවුදැ?යි විමසූහ. ඊට “ඔබේ මව” යැයි එතුමාණෝ පිළිතුරු දුන්හ. ඔහු පසුව කවුදැ?යි විමසූහ. ඊට “ඔබේ පියා” යැයි එතුමාණෝ පිළිතුරු දුන්හ.” (මූලාශ්‍රය: සහීහ් අල්-බුහාරි)

“අල්ලාහ්ගේ තෘප්තිය පියාගේ තෘප්තිය වන අතර අල්ලාහ්ගේ කෝපය පියාගේ කෝපය වන්නේය.” (මූලාශ්‍රය: අල්-මුස්තද්රක්)

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් “ජාත්‍යන්තර දෙමාපිය දිනය” ලෙස ප්‍රකාශ කරන ලද මේ දිනයේ (2022.06.01) පමණක් නොව අප ජීවිතය පුරාවට අපගේ දෙමාපියන්ට ගෞරව කිරීමට සහ ඔවුන්ගේ ආදරය දිනා ගත් දරුවන් ලෙස ජීවත් වීමට උත්සාහ දැරිය යුතුයි.

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *