ACJU/NGS/2023/262
2023.10.31 (1445.04.15)
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 10 වැනි හදිසි විශේෂ සැසිවාරය 2023.10.26 වැනි දින පැවැති අවස්ථාවේදී ජෝර්දාන් රජයෙන් මානුෂීය සටන් විරාමය පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් විය.
එහිදී මානුෂීය හේතූන් මත ගාසා තීරයට එරෙහි යුද්ධය වහා නතර කරන ලෙසත්, ගාසා තීරයේ ජනතාවට ජලය, ආහාර, වෛද්‍ය සැපයුම්, ඉන්ධන සහ විදුලිය සැපයුම් සහතික කරන ලෙසත් එකී යෝජනාවෙහි ඉල්ලා සඳහන් කරන ලදී.
එමෙන්ම මහජන ආරක්ෂාව, නීතිමය සහ මානුෂීය බැඳීම් තහවුරු කිරීම යන කරුණු පදනම් යෝජනාව ඡන්දයකට ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනාවට පක්ෂව රටවල් 120ක්ද, විරුද්ධව රටවල් 14ක්ද, රටවල් 45ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය විසින් ඉහත යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සිය කෘතඥතාව පළ කර සිටියි.
පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය තුළ මනුෂ්‍යත්වය, යුක්තිය සහ සාධාරණත්වය මුල්කර ගනිමින් ඔවුන් එවැනි ස්ථාවරයකට පැමිණීම ප්‍රශංසනීය කරුණකි.
සර්වබලධාරී අල්ලාහ්, ලොව පුරා යුක්තිය, සාධාරණය සහ සාමය ස්ථාපිත කරනු මැනව!
අෂ්-ෂෙයික් එම්.ජේ. අබ්දුල් කාලික්
සභාපති (වෙනුවට)
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව