සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව පසුගිය දශක 9 ත් ඔබ්බෙන් වූ කලක පටන් ආගමික, සමාජීය කරුණු සම්බන්ධයෙන් උද්යෝගිමත් ලෙස දායකත්වය ලබාදෙමින් කටයුතු කරමින් සිටින අතර, පොදු සමාජීය ගැටලුකාරී තත්ත්වයන්හි දී අනෙකුත් මුස්ලිම් සිවිල් සංවිධාන සමග එක්ව අවශ්‍ය කටයුතු සිදුකරන බව සියල්ලන්ම දැනුම්වත්ව සිටින කරුණකි.
මුස්ලිම් ප්‍රජාව මුහුණ දෙන සමකාලීන ගැටලු සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව මුස්ලිම් සංවිධාන සමඟ දෙමසකට වතාවක් හමුවී සාකච්ඡාවන් පැවැත්වීම වසර ගණනාවක් තිස්සේ පැවතෙන කරුණකි.
ඒ අනුව, වර්තමානයේ මුස්ලිම් ප්‍රජාව මුහුණදෙන බොහෝ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගිය 2021.07.07 වන දින අනෙකුත් මුස්ලිම් සිවිල් සංවිධාන සමග විශේෂ රැස්වීමක් මාර්ගගතව පැවැත්වීමට කටයුතු කරන ලදී.
එහි පිළිගැනීමේ කථාව සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ මහලේකම් අෂ්-ෂෙයික්, එම්. අර්කම් නූරාමිත් තුමා විසින් ද, ප්‍රධාන දේශනය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සභාපති, අෂ්-ෂෙයික්, එම්.අයි.එම්. රිස්වි මුෆ්ති තුමා විසින් ද පවත්වන ලදී.
ශ්‍රී ලාංකේය පුරවැසියන් ලෙස, ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදී හරයාත්මක වටිනාකම් ආරක්ෂා කරගනිමින්, මුස්ලිම් ප්‍රජාව මුහුණපාන අභියෝග පිළිබඳව සාකච්ඡා කර, ඒවාට නිසියාකාරව මුහුණ දී නිසි හා නිවැරදි විසඳුම් ලබාගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන ඉලක්කය විය.
එහි දී පහත දැක්වෙන කරුණු පිළිබඳ සාකච්ඡා කරමින්, ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමුකෙරිණි.
- පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් පසුව ප්‍රකාශයට පත්කළ “රැඩිකල්කරණයෙන් තුරන් කිරීම” (Deradicalization) පිළිබඳ ගැසට් නිවේදනය සම්බන්ධව
- ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත්කර ඇති අල්-කුර්ආන් පරිවර්තන පිළිබඳ කරුණු සඳහා විසඳුමක් ලබාගැනීම
- අරාබි භාෂා මද්රසා සම්බන්ධයෙන් වන අභියෝගවලට විසඳුම් ලබාගැනීම
- ළමුන් සඳහා වූ අල්-කුර්ආන් පාඨශාලා පිළිබඳ පැනනැගී ඇති ගැටලු සඳහා විසඳුම් ලබාගැනීම
- මුස්ලිම් පුද්ගලික නීතිය පිළිබඳ ගැටලු
ඉහත කී කරුණු පහට අදාළ බොහෝ දේ සම්බන්ධයෙන් සාකච්ඡා කර, නොයෙකුත් අදහස් සහ යෝජනා ඉදිරිපත් කෙරුණු අතර, සුදුසු විසඳුම් ද එහි දී සම්මත කරගන්නා ලදී.
මෙහිදී මුස්ලිම් සිවිල් සංවිධාන 24ක් පමණ නියෝජනය කරමින් සමාජ ක්‍රියාකාරීන් 50 ත් වැඩි සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී විය. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊට දායකත්වය ලබාදිය හැකි අයුරු ද පුළුල්ව සාකච්ඡාවට ලක්වන ලෙසින් මේ සංවාදය සිදුකෙරිණි.
ඇතැම් සංවිධාන පිළිබඳව සමහරු වැරදි මතවාද / චෝදනා පළකරන බැවින්, අපේ අදහස් හා මතවාද ඉතාම සංයමයෙන්, දූරදර්ශීව ඉදිරිපත් කිරීම පිළිබඳව දැඩි සේ අවධාරණය කෙරුණු බව මෙහි දී විශේෂයෙන් සිහිපත් කළ යුතුය.
එමෙන්ම, ඥානසාර හිමියන් විසින් නොකඩවාම මුස්ලිම්වරුන් සහ මුස්ලිම් සංවිධාන තවදුරටත් දෝෂදර්ශනයට ලක්කිරීමත්, මුස්ලිම්වරුන්ට එරෙහිව 2013 වසරේ සිට බොහෝ පදනම් විරහිත චෝදනා එල්ල කිරීමත්, එමඟින් වසර ගණනාවක සිට බෞද්ධ සහෝදර ප්‍රජාවන්ගේ සිත් තුළ මුස්ලිම්වරුන් පිළිබඳ සැකය සහ වෛරය වැපිරීම පිළිබඳවත් මෙහිදී අදහස් හුවමාරු විය. විශේෂයෙන්ම, මෙකී භික්ෂුව විසින් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දිගින් දිගටම දෝෂදර්ශනයට ලක්කිරීම හේතුවෙන්, ප්‍රජාවට ආධ්‍යාත්මික හා සමාජීය මඟපෙන්වීම් ලබාදෙන ප්‍රධාන ආයතනය වන සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව මේ ප්‍රශ්නයට සෘජුවම මැදිහත් නොවී, අන් සංවිධානවලට මේ සම්බන්ධයෙන් මඟපෙන්වීම් ලබාදීම මැනවැ’යි ද යෝජනා විය.
අවසාන වශයෙන්, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සභාපති, අෂ්-ෂෙයික්, එම්.අයි.එම්. රිස්වි මුෆ්ති තුමා මෙසේ පවසා සිටියේය:
“අප සියල්ලෝම මෙහිදී වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කර, ඒවා පිළිබඳව එකමුතුව කටයුතු කිරීම ප්‍රයෝජනවත් වේවි යැයි මා විශ්වාස කරනවා. එම වැදගත් කරුණු වන්නේ;
- ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් ඇති නොවීමට වගබලාගත යුතු අතර, ඒ සඳහා ශ්‍රී ලාංකීය මුස්ලිම්වරු සිය දායකත්වය ලබාදෙන්නේ කෙසේද යන්න ගැන අවධානය යොමු කළ යුතුය.
- මුස්ලිම් නොවන සහෝදර ජනතාව අතර පවතින ඉස්ලාමය පිළිබඳ භීතිකාව සහ සැකය දුරුකිරීම අපේ වගකීමකි.
- සහෝදර ජනතාව සමග සංහිඳියාව සහ සමාදානය පවත්වාගනිමින්, සහජීවනය ගොඩනැගීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකළ යුතුය.
- එමෙන්ම, අපේ ප්‍රජාවට එරෙහිව ඇති විය හැකි තර්ජන, අභියෝග පිළිබඳව රජය සමග නිසියාකාරව සාකච්ඡා කර, තිරසාර විසඳුම් ලබාගැනීමට කටයුතු කළ යුතුයි.
එමෙන්ම, මීට සහභාගී වූ සංවිධාන ඉන් පෙර ක්‍රියාත්මක වූ ආකාරයටම අඛණ්ඩව කටයුතු කළ යුතු බවත් අවධාරණය කෙරිණි.
විශේෂයෙන්, සෑම සංවිධානයක්ම තමන්ගේ භූමිකාව මත පදනම්ව, මුස්ලිම් පුද්ගලික නීතිය, රැඩිකල්කරණය තුරන් කිරීම (Deradicalization), අල්-කුර්ආන් පාඨශාලා සහ අරාබි මද්රසා පවත්වාගෙන යාම හා අල්-කුර්ආන් පරිවර්තන කටයුතු යනාදි කරුණු ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම සඳහා මේ සංවිධාන සියල්ලම එක්ව එකාවන්ව කටයුතු කළ යුතු බව යෝජනා කෙරුණු විට, එම කරුණ ඒකමතිකව පිළිගැනුණු බව ද මෙහි ලා විශේෂයෙන්ම සටහන් කළ යුතුය.
මාධ්‍ය අංශය
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව