ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි නියැලීම සම්බන්ධයෙන් ඉස්ලාමීය දෘෂ්ටි කෝණය

ACJU/NGS/2022/260

2022.08.12 (1444.01.13)

 

මානව ඉතිහාසය පුරාම ගැටුම්, යුද්ධ සහ ප්‍රචණ්ඩත්වය නොනැවතී පැවත ඇත. අදටත් එසේම පවතී. සාමයේ පරමාදර්ශය සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කළද මෙයින් ගිලී සිටින මිනිසා තුළ ප්‍රචණ්ඩත්වය සහ ගැටුම් නතර වී ඇති බවක් නොපෙනේ.

බහු වාර්ගික ප්‍රජාවන් තුළ මතභේද ඇතිවීම ස්වභාවිකය. ආගමික රිස්සීමෙන් කටයුතු කිරීමත් සමඟ බහුත්වවාදය සිහියට ගෙන කටයුතු කිරීම සමගියට මග පාදයි. අල්ලාහ් විසින් මිනිසාව විවිධ ජනකොටස් සහ ගෝත්‍ර අනුව වෙන් කර මැවූයේ ඔවුන් එකිනෙකා දැන හඳුනා ගැනීම සඳහා බව අල්-කුර්ආනය තුළින් අපට අවධාරණය කරයි. (අල්-කුර්ආනය 49:13) එමෙන්ම එකිනෙකා සමච්චල් නොකළ යුතු බවත්, එකිනෙකා අවඥාවෙන් විවේචනය නොකළ යුතු බවත් අල්-කුර්ආනය තුළින් අපට උපදෙස් දී ඇත. (අල්-කුර්ආනය 49:11)

ජාතිය හෝ ඇදහිල්ල මත පදනම්ව බලහත්කාරකම් පෑම, තර්ජන කිරීම සහ ප්‍රචණ්ඩකාරීව කටයුතු කිරීම අන්තවාදයේ සහ ත්‍රස්තවාදයේ සලකුණු වේ. ඉස්ලාමය මෙය දැඩි ලෙස හෙළා දකින අතර එය ඉස්ලාම් දහමේ අරමුණු හා ඉලක්කයන්ට සෘජුවම පටහැනිය.

අදහස් දැරීමේ නිදහස සියලු මනුෂ්‍ය වර්ගයාගේ අයිතිවාසිකමකි. “(ඉස්ලාම්) දහමෙහි බල කිරීමක් නැත.” යනුවෙන් අල්-කුර්ආනයේ සඳහන් වේ. (අල්-කුර්ආනය 2:256)

ඉස්ලාමයේ මධ්‍යස්ථ චින්තනය අවබෝධ කරගත් අයෙක් අන් දහම්වලට සහ අන් සංස්කෘතික සම්ප්‍රදායන්ට ගරු කරමින් යහ ඇසුරක් පවත්වමින් ජීවත් වෙයි. ඇදහිල්ල  පදනම් කරගත් අන්තවාදය සහ එහි ප්‍රතිඵලයක් වූ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දැකිය යුතුය. එය යම් රටක් නිසි අයුරින් පවත්වාගෙන යාම, ජාතීන් අතර සහජීවනය, අවබෝධය, සාමය සහ සංවර්ධනය ආදී විෂයන්ට බාධාවකි.

සර්ව බලධාරී අල්ලාහ් ශුද්ධ වූ අල්-කුර්ආනයේ පහත පරිදි සඳහන් කරයි. “…(අයුක්ති සහගතව තවත්) ආත්මාවක් ඝාතනය කරන්නේ ද ඔහු මිනිසුන් සියල්ල ඝාතනය කළ කෙනෙකු මෙන් වන්නේය. කවරෙකු එය(ආත්මාව ඝාතනය නොකර) ජීවත් කරවන්නේ ද ඔහු මිනිසුන් සියල්ල (ආරක්ෂා කර) ජීවත් කරවන්නෙකු මෙන් වන්නේය…” (අල්-කුර්ආනය 5:32)

නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් තම අවසාන හජ් වන්දනාවේදී පහත සඳහන් දේ දේශනා කළහ. “…ඔබේ ජීවිත, දේපළ සහ ගෞරවය ඔබට පූජනීයයි. (හරාම් – තහනම් දෑ වෙයි).” (මූලාශ්‍රය: සහීහ් අල්-බුහාරි)

නියත වශයෙන්ම, ජාතිවාදයේ නාමයෙන් නිර්මාණය කරන ලද සියලු ප්‍රචණ්ඩ ක්‍රියාවන් සහ ගැටුම් දේශපාලනිකව වර්ණවත් වූ දෑ වෙයි. එවැනි සමාජ විරෝධී සහ ජාතික විරෝධී දේශපාලන ව්‍යාපාර හේතුවෙන් සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා අපි හෙළා දකිමු. එබැවින් විපතට පත් වූවන්ගේ, ජීවිත අහිමි වූවන්ගේ සහ බරපතළ තුවාල ලැබූවන්ගේ පවුල්වලට ශෝකය පුද කර සිටිමු. මන්ද, අසාධාරණයට ලක්වූ අය වෙනුවෙන් හඬ නැගීම ආගමික වගකීමකි.

රට තුළ සාමය පවත්වා ගැනීමටත් සහෝදර ජනතාව සමඟ සහජීවනය පවත්වා ගැනීමටත් අවශ්‍ය කැපවීමෙන් ක්‍රියා කිරීම සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සැමවිටම බැදී සිටියි.

මෙවන් අවාසනාවන්ත ඉරණමක් යළි උදා නොවී, සාමය, සතුට සපිරි සෞභාග්‍යයමත් හෙටක් උදාවේවායි ප්‍රාර්ථනා කරමු.

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *