ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව සිදු වූ විරෝධතාව හා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ස්ථාවරය

යොමු අංකය : ACJU/NGS/2022/253

2022 අගෝස්තු මස 03 වෙනිදා

 

පසුගිය කාලයේ අප රටේ ඇති වූ දේශපාලන හා ආර්ථික අර්බුදය නිසා මෙරට ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව මාස ගණනාවක් තිස්සේ දේශපාලන ක්‍රමය වෙනස් කර ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණ කළෝය. එහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන වෙනස්කම් කිහිපයක් සිදු වී ඇතත් රටේ ජනතාව තවත් බොහෝ වෙනස්කම් අපේක්ෂා කරන අතර ආර්ථික අර්බුදයට නිසි විසඳුමක් නොලැබීම නිසා තවදුරටත් අරගල කරති.

මෙහිදී විරෝධතාවට සක්‍රීයව සම්බන්ධ වූවන් අසාධාරණ ලෙස ඉලක්ක කර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙරට බෞද්ධ හා ක්‍රිස්තියානි ඇතුළු සියලු ආගමික නායකයින්, නීතීඥවරුන්, විශේෂ වෛද්‍යවරුන්, සිවිල් හා සමාජ සංවිධාන රැසක් ඇතුළු විදේශීය මානව හිමිකම් සංවිධාන ද සිය අප්‍රසාදය හා විරෝධය පළ කර තිබීම අවධානයට ලක් කළ යුතු කරුණකි.

මේ වන විට අප රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර ආධාර සහ සහයෝගය ඉතා අවශ්‍යයව පවතී. එවැනි අවස්ථාවක රාජ්‍ය බලධාරීන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී අගයන්ට පටහැනි වන අයුරින් ක්‍රියා කිරීම නිසා ජාත්‍යන්තර සහයෝගය සහ ආධාර අපට අහිමි විය හැක.

එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී අගයන් සහ ජාත්‍යන්තරව පිළිගත් මූලික මානව හිමිකම් රැකගෙන යුක්තිගරුකව හා සාධාරණව ක්‍රියා කර මෙම අරගලයට හේතු වී ඇති සියලු ගැටලු කඩිනමින් විසඳා දෙන ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ මෙරට වගකිවයුත්තන්ගෙන් නිහතමානීව ඉල්ලා සිටී.

අප රටේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය කඩිනමින් ඉවත්වී අප මාතෘභූමිය හා මුළු ලෝකයම සෞභාග්‍යමත්ව අභිවෘද්ධිමත්ව බැබළේවා’යි ප්‍රාර්ථනා කරන අතර මෙරටෙහි යුක්තිය හා සාධාරණත්වය ඉටුවේවායි ශුද්ධවූ මෙම මුහර්රම් මාසයේ සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු.

 

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *