පාකිස්තානයේ ගංවතුර තත්ත්වය නිසා ආපදාවට ලක් වූ ජනතාවට අතහිත දෙමු.

සමාජ සේවා අංශය

ACJU/SOC/2022/006
2022.09.08 (1444.02.11)

 

“وَيُـؤْثِرُوْنَ عَلٰٓى اَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ ؕ وَمَنْ يُّوْقَ شُحَّ نَـفْسِهٖ فَاُولٰٓٮِٕكَ هُمُ الْمُفْلِحُوْنَ”ۚ ‏(سورة الحشر 09)

අල්ලාහ් තආලා අල්-කුර්ආනයේ මෙසේ පවසයි: “තවද, තමන්ට අවශ්‍යතාවක් තිබුණද,  තමන්ට වඩා ඔවුන් (උදව් ලැබීමට සුදුසු අය ලෙස) තෝරාගනිති. කවරෙකුගේ සිත මසුරුකමින් ආරක්ෂා වී ඇත්ද, ඔවුහුමය ජයග්‍රාහකයෝ. (59:09)

 

පසුගිය ජූනි මාසයේ සිට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් නිසා පාකිස්තානයේ භූමිභාගයෙන් 2/3ක්ම ගංවතුරෙන් යට වී ආපදාවට ලක්ව තිබේ. මිලියන 33ක් පමණ ජනතාව මෙම උවදුරට මුහුණපා ඇති බවත්, පුද්ගලයන් දොලොස් දාහහකට අධික බරපතල තුවාල ලබා ඇති බවත්, ලක්ෂ 16කට අධික නිවාස මෙන්ම මහාමාර්ග සහ පාලම් සියයකට අධික ගණනක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බවත් වාර්තා වන අතර, නොයෙක් බෝ වන රෝග පැතිරෙමින් තිබෙන බවත්, අක්කර ලක්ෂ 36ක් වූ ගොවිබිම් මෙන්ම  ලක්ෂ හතකට වැඩි පශුසම්පත් ජලයෙන් යට වී ඇති බවත්, මාධ්‍ය වාර්තා මගින් දැනගැනීමට ලැබී තිබේ.

ශ්‍රී ලංකාව ද දැඩි ආර්ථික අපහසුතාවකින් පෙළෙන මෙම අවස්ථාවේ දී පවා, ආපදාවට ලක්ව සිටින ජනතාවට හැකි අයුරින් උදව්-උපකාර කිරීම සහ ඔවුන් වෙනුවෙන් යහප්‍රාර්ථනා කිරීම ඉස්ලාමයෙන් නිර්දේශ කොට ඇත. අපහසුතාවෙන් පෙළෙන මිනිසුන්ට උදව් කළහොත් අල්ලාහ් තආලා අපේ අපහසුතාවන් ද තුරන් කරනු ඇතැයි යන්නෙහි කිසිදු සැකයක් නොමැත.

“තමන් අසීරුතාවකින් පෙළෙනා විට දී පවා, තවත් මුඃමින්වරයෙකුගේ අසීරුතාවයක් තුරන් කිරීම සඳහා කටයුතු කරන්නේ ද, අල්ලාහ් විනිශ්චය දිනයේ දී ඔහුගේ අසීරුතාවක් තුරන් කරයි.” (සහීහ් මුස්ලිම්)

මස්ජිද් සංගම් සහ මුස්ලිම් වාණිජ සංගම් සමග එක්ව, ඉදිරි සති 02ක කාලය තුළ සිකුරාදා ජුම්ආ දිනයේ එකතු කෙරෙන මුදල් ද මේ සඳහා වෙන්කිරීමට තීරණය කර ඇත්තෙමු. මේ අනුව, ඉදිරි සති දෙක තුළ දී ඔබට හැකි පමණ මූල්‍ය ආධාර සමස්ත ලංකා ජමියියතුල් උලමා සභාවේ ආපදා නිවාරණය සඳහා වෙන් කර ඇති පහත දැක්වෙන බැංකු ගිණුම්වල තැන්පත් කරන මෙන් ද, මේ පිළිබඳව මස්ජිද් පාලන මණ්ඩල සාමාජිකයන් දැනුම්වත් කරන ලෙස ද සමස්ත ලංකා ජමියියතුල් උලමා සභාව කාරුණිකව ඉල්ලා සිටී.

 

මෙහි දී එකතු වන මූල්‍යාධාර සියල්ල  මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය වෙත මස්ජිද් සංගම් සහ මුස්ලිම් වාණිජ සංගම්වල සහභාගීත්වයෙන් භාර දෙනු ඇති බවටත්, පුද්ගලික ආයතන විසින් එකතු කරන ආධාර අප සභාවට ලබාදෙන්නේ නම්, ඒවා ද අප විසින් ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය වෙත ලබාදීමට කටයුතු යොදන බවටත් මින් දැනුම් දෙමු.

 

සර්වබලධාරී අල්ලාහ් තආලා අපේ සියලු යහ ක්‍රියා පිළිගෙන, දෙලොවේම ඉහළතම ආනිශංස අප හට උරුම කරත්වා! ආමීන්.

 

මුෆ්ති එම්. අයි. එම්. රිස්වි

සභාපති

සමස්ත ලංකා ජමියියතුල් උලමා

 

අෂ්-ෂෙයික් එම්. එස්. එම්. තාසිම්

සහකාර ලේකම්

සමස්ත ලංකා ජමියියතුල් උලමා

sd

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *