ACJU/NGS/2023/123
2023 අප්‍රේල් 12 වෙනිදා
මෙරට තුළ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් කිසිඳු විටෙක ත්‍රස්තවාදී හෝ අන්තවාදී ක්‍රියාකාරකම් සඳහා රුකුල් දී නොමැත. රටේ ආරක්ෂාව, සාමය සහ සංවර්ධනය සඳහා ඔවුහු සිය නොපසුබට දායකත්වය ලබා දී ඇති බවට ඓතිහාසික සාක්ෂි දෙස්දෙයි.
ගෝලීය මට්ටමින් සිදු වූ යම් අන්තවාදී කටයුතු, අකටයුතුකම් සහ කුමන්ත්‍රණ හේතුවෙන් 2019 වසරේ දී මුස්ලිම් නාමධාරී පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් අපේ රටේ සිදුකළ ත්‍රස්තවාදී ප්‍රහාරය සැබැවින්ම ඛේදවාචකයකි. සත්‍ය තත්ත්වය නම් මොවුන් සහ ඉස්ලාමය අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව යි. එකී ප්‍රහාරය සඳහා සහභාගී වූවන්ගේ දේහයන් පවා මුස්ලිම් සුසානභූමියක මිහිදන් නොකරන ලද්දේ එහෙයිනි.
“එක් මිනිස් ජීවිතයක් බේරාගැනීම, මුළු මිනිස් සංහතියම බේරාගැනීමට සමාන වේ” යැයි ශුද්ධ වූ අල්-කුර්ආනයේ සඳහන් ඉගැන්වීම මෙහි දී අවධාරණය කිරීම වටී.
අන්තවාදී සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට විරෝධය පෑමේ දී සහ ප්‍රතික්ෂේප කිරීමේ දී ජම්ඉයියතුල් උලමා සභාව ඉතාමත් සැලකිල්ලෙන් සහ අවධානයෙන් යුතුව කටයුතු කර තිබේ. 2015 වසර වන විට ලොව පුරා ප්‍රචලිත වෙමින් පැවති අයි.එස්. ත්‍රස්තවාදී මතවාදය මුළුමනින්ම බැහැර කර, ඉස්ලාමයටත් අයි.එස්. මතවාදයටත් කිසිඳු සමානකමක් නැතැයි යන්න පැහැදිලි කරමින් ප්රකාශනයක් නිකුත් කරන ලදී. ඉන් අනතුරුව, මස්ජිද්වල ජුම්ආ දේශනාවල දී මෙන්ම මාර්ගෝපදේශන වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවාසී මුස්ලිම් ජනතාවට පැහැදිලි කිරීම් සිදුකරමින් මෙකී භයානක මතවාදවලින් ආරක්ෂා කිරීම සඳහා හැකි සියලුම උත්සාහයන් යොදන ලදී. තවද, ‘ඔබ අන්තවාදී නොවන්න’ යන තේමාවෙන් පොත් පිංචක් ද පළකිරීමට යෙදුණි. තවද, රට පුරා තැනින් තැන සංහිඳියා මධ්‍යස්ථාන පිහිටුවා, සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ද ඔවුන් ක්‍රියාත්මක විය.
පසුගිය 2019 වසරේ දී සිදු වූ ප්‍රහාරය අමානුෂික හා බිහිසුණු වූවකි. ඒ සම්බන්ධයෙන් ගැඹුරින් විමර්ශනය කර, වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවන මෙන් අදාළ බලධාරීන්ගෙන් ජම්ඉයියතුල් උලමා සභාව ඉල්ලා සිටින අතර, අදාළ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ පවුල්වල සහ වින්දිතයන්ගේ මානසික සහ චිත්තවේගාත්මක සහනය වෙනුවෙන් ප්‍රාර්ථනා කර සිටියි.
අපේ රට සෞභාග්‍යයෙන් සහ සංවර්ධනයෙන් පිරිපුන් රටක් බවට පරිවර්තනය කිරීම සඳහා උත්සාහ කිරීම සියලු පුරවැසියන්ගේ යුතුකම වේ. බහුවාර්ගික සමාජයක් ලෙස ජීවත්වන අපි මේ සඳහා එකමුතුව කටයුතු කිරීම අනිවාර්ය වේ. එබැවින් අප අතර එකමුතුකම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කළ යුතු අතර, ඊට කැළලක් ඇතිකරන ආකාරයේ කුමන්ත්රණවලට හසුනොවී බුද්ධිමත්ව සහ අවධානයෙන් යුතුව ක්‍රියාත්මක විය යුතු යැයි ජම්ඉයියතුල් උලමා සභාව සියල්ලන්ගෙන්ම කාරුණිකව ඉල්ලා සිටියි.
‘ඔබ අන්තවාදී නොවන්න’ යන තේමාවෙන් ජම්ඉයියතුල් උලමා සභාව විසින් ප්‍රකාශයට පත්කළ පොත් පිංච සෑම කෙනෙක්ම කියවිය යුතු බවට නිර්දේශ කරන අතරම අන්තවාදී මතවාද, ජාතිවාදී හා ආගම්වාදී ප්‍රචාරයන්ගෙන් ආරක්ෂා කෙරුණු රටක් ලෙස අප මාතෘභූමිය ගොඩනැංවීම සඳහා සියල්ලන්ම එකමුතුව කටයුතු කළ යුතු යැයි අප සභාව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
මුෆ්ති එම්. අයි. එම්. රිස්වි
සභාපති
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
අෂ්-ෂෙයික් එම්. එම්.එස්.එම්. තාසිම්
මහලේකම් (වැඩබලන),
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව