භුමදානය කුර්ආනයේ අනිවාර්ය කර නැත යැයි උදය ගම්මන්පිල මහතා විසින් පාර්ලිමේන්තුවේ සිදුකරන ලද ප්‍රකාශය හා සම්බන්ධ පිළිතුරු ලිපිය

යොමු අංකය: ACJU/SCR/2021/003

12 ජනවාරි 2021

ගරු උදය ගම්මන්පිල මහතා
බලශක්ති අමාත්‍ය
බලශක්ති අමාත්‍යාංශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

ගරු අමාත්‍යතුමණි

භුමදානය කුර්ආනයේ අනිවාර්ය කර නැත යැයි ඔබතුමන් විසින් පාර්ලිමේන්තුවේ සිදුකරන ලද ප්‍රකාශය හා සම්බන්ධවයි

ඔබතුමන් විසින් පසුගිය දින පාර්ලිමේන්තුවේ මුස්ලිම් මරණ භූමදානය පිළිබඳව කුර්ආනයේ සඳහන් නොවන බවක් පවසමින් සිදු කරන ලද අසත්‍ය හා වැරදි ප්‍රකාශය අපට ඉමහත් කණස්සල්ලක් ගෙන දී ඇත. ආණ්ඩු පක්‍ෂයේ ප්‍රමුඛ සාමාජිකයෙක් සහ රජයේ වැදගත් තනතුරක් දරන ඇමතිවරයෙක් පමණක් නොව නීතිවේදියෙකුද වන ඔබතුමන්ගෙන් ලොව ප්‍රධාන ආගමක නිර්දේශ ගැන කථා කරන විට අප මෙයට වඩා සදාචාරාත්මක ආකල්පයක් බලාපොරොත්තු වුයෙමු. එනමුත් ඔබතුමන් විසින් කුර්ආනයේ භූමදානය අනිවාර්ය කරන හෝ ආදාහනය තහනම් කරන කිසිදු සඳහනක් නොමැත යැයි රටේ උත්තරීතම සභා ගර්භයක් තුළ කර ඇති උක්ත ප්‍රකාශය ඉස්ලාමය ගැන කිසිදු දැනීමක් නොමැතිව සිදු කර ඇති අතර එය සම්පුර්ණයෙන්ම වැරදි, අමුලික හා අසත්‍ය ප්‍රකාශයක් යැයි පෙන්වා දෙනු කැමැත්තෙමු.
ඉස්ලාමීය ආගමික නිර්දේශ ලබා ගැනීම සිදු කරනුයේ කුර්ආනයේ වැකිවලට හා එයට සමගාමී වන නබිවදන්වලට යොමු වීමෙනි. මෙම කාර්යය ඉස්ලාමීය කලාවන් වසර ගණනාවක් හදාරන ඉස්ලාමීය ආගමික වියතුන්ට පමණක් කළ හැකි බැරෑරුම් කාර්්‍යයකි.

කෙසේ වෙතත් කුර්ආනය වැනි මාර්ගෝපදේශ මුලාශ්‍රයක් දෙවතාවක් කියවීමට ඔබතුමන් ඉදිරිපත් වීම ගැන අපගේ ප්‍රශංසාව හා සතුට ප්‍රකාශ කර සිටින අතරම මුස්ලිම් දේහයන් භූමදානය කළ යුතුමය යැයි එහි කිසි තැනක සඳහන් කර නොමැත යන ඔබගේ කීම සම්පුර්ණයෙන්ම වැරදි එකක් බව මෙම ලිපිය මගින් අවධාරණය කරන අතරම ඒ හා බැඳි කරුණු කිහිපයක් ගැන පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට අප සභාව අදහස් කරයි.

ඉස්ලාමයේ නීති රීති හා මගපෙන්වීම් උපුටා ගන්නේ පහත සිව්වැදෑරුම් මුලාශ්‍රවලිනි:

1. කුර්ආනය
2. සුන්නා (මුහම්මද් තුමන්ගේ වදන්, නිහඬ අනුමැති හා ප්‍රායෝගික ආදර්ශ)
3. ඉජ්මා (හෙවත් ආගමික විද්වතුන්ගේ එකඟතාවය)
4. කියාස් (සමාන අතීත සංසිද්ධි)

මෙම හතරෙන් පළමුවැන්න වන කුර්ආනය ප්‍රමුඛතම හා දිව්‍යමය මුලාශ්‍රය වන අතර මානව සංහතියට අත්‍යන්ත හා අංගසම්පුර්ණ විශ්ව මග පෙන්වීමද වේ. එයට කාල හෝ භෞමික සීමා නොමැත. එසේ වුවද, මගපෙන්වීම් සඳහා එයට පමණක් යොමු විය නොහැකි අතර එයට සමගාමීව ප්‍රධාන වශයෙන් දෙවිඳුන්ගේ අවසාන පණිවිඩකරු වන මුහම්මද් තුමන්ගේ ආදර්ශ හා උපදෙස්වලටද යොමු විය යුතුය. ආගමික් විද්වතුන්ගේ සහය තවත් අනිවාර්ය කොන්දේසියකි.

නිදසුනකට ලොව පුරා මුස්ලිම්වරුන් දිනකට පස් වතාවක් ඉටු කරන සලාත් නම් වූ නැමදුම ගැන කුර්ආනයේ සඳහන් වන්නේ නාම මාත්‍ර ලෙසින් පමණි. එම පස්වේල්වල නම්, වේලා මෙන්ම එය ශාරීරිකව ඉටු කරන ආකාරය ආදිය ගැන විස්රාත්මකව කුර්ආනයේ සඳහන් වන්නේ නැත. එසේ කුර්ආනයේ මෙය ගැන විස්තරාත්මකව සඳහන් කර නොමැති නිසා එම වගකීම විශ්වාසිකයෙකු පැහැර හැරිය හැකිය යැයි තර්ක කළ නොහැක. රාමසාන් මාසයේ මුස්ලිම්වරුන් ලොව පුරා නොවරදවා රකින මසක උපවාසය, වසරකට වරක් ධනවතුන් විසින් ගෙවිය යුතු සකාත් නම් දීමනාව, හැකියාව ඇති අය ඉටු කළ යුතු හජ් වන්දනාව ආදිය ඉටු කරන ආකාර ගැනද කුර්ආනයේ විස්තරාත්මකව පැහැදිලි කර නොමැත. එම නිසා එම වගකීම් ගැන සැලකිලිමත් වීම අවශ්‍ය නැත යැයි කෙනෙකුට තර්ක කළ නොහැක. මන්ද යත් ඉස්ලාමයේ මගපෙන්වීම් නිර්දේශ සඳහා හුදෙක් කුර්ආනයට පමණක් යොමු වීම ඒ සඳහා වන ක්‍රමවේදය නොවේ. ඒ සඳහා අනිවාර්යෙන්ම මුහම්මද් තුමන්ගේ මගපෙන්වීම් හා ආදර්ශ අවශ්‍ය වේ.

ඒ අනුව යම් ඉස්ලාමීය ආගමික පෙන්වීමක් ගැන දැනගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා යොමු විය යුතු පළමු හා ප්‍රමුඛ මුලාශ්‍රය කුර්ආනය වුවද එය සමගම යොමු විය යුතු තවත් මුලාශ්‍ර ඇති බව හොඳින් වටහා ගත යුතුය. එමෙන්ම එසේ යොමුවීමට විශේෂ පීඨයන් හා කලාවල දැනුම කෙනෙකු සතුව තිබිය යුතු බවද තේරුම් ගත යුතුය. ඒ වියත් හා විශේෂඥ දැනුමට විශේෂ අගයක් තිබෙන බව ඔබතුමන්ට වුවද තේරෙන නිසාය. නමුත් ඉස්ලාමීය නීති නිර්දේශ දැන ගැනීම විෂයයෙහි ඔබතුමන් එවන් නැණවත් පියවරක් ගත් බවක් නොපෙනීම කණගාටුවට කරුණකි.

ඒ අනුව මුස්ලිම්වරයෙකු අභාවයට ගිය විට ඉටු කළ යුතු වගකීම් වන දේහය ස්නානය කරවීම, සුදු රෙද්දකින් එතීම, සලාතය ඉටු කිරීම හා භූමදානය කිරීම යන සිව් ආකාර අනිවාර්ය වගකීම් දැනගැනීමට කෙනෙකු කුර්ආනය සියදහස් වාරයක් පෙරළුවද ඒවා එහි දැක ගන්නට නොහැකිය.

එපමණක් නොව භූමදානය ගැන කුර්ආනයේ සඳහන් කර නොමැත යැයි ඔබ පවසා ඇති කීමද සම්පුරණයෙන්ම වැරදිය. ඇත්තෙන්ම භුමදානය ගැන තැන් දහයක පමණ කුර්ආනයේ සඳහන් වේ. අන් වගකීම් විෂයයෙහි සේම භූමදානයේ අනිවාර්ය තත්වය අපට දැනගැනීමට හැකි වන්නේ නබිතුමන්ගේ වැකි හා ආදර්ශ හරහා සහ ආගමික විද්වතුන්ගේ සහය සහිතවය. මෙම ක්‍රමවේදය සෑම ආගමකටම පාහේ පොදුය. නීතිය ඉගෙන ගත් ඔබතුමන් වැන්නෙකුගෙන් මෙවන් නොසැලකිලිමත් ප්‍රකාශයක් සිදුව තිබීම අපට විශ්මය ගෙන දෙන්නේය. නින්දා සහගත ආන්දෝලනයක් මැදට ඔබතුමන්ව පත් කර ඇති මෙවන් නොදැනුවත්කම්වල මින් මතු ඔබ තුමන් නොයෙදෙනු ඇත යැයි අප උදක් විශ්වාස කරමු. විශේෂයෙන් ලොව ප්‍රබල ධර්මයක් වන ඉස්ලාමය ගැන යමක් කියන්නට පෙර ඔබතුමන් මෙයට වඩා ප්‍රවේශම් වන්නට තිබුනි. දැන් ඔබතුමන්ට කරන්නට ඇති එකම දෙය නම් කණගාටුදායක එම ප්‍රකාශ ගෞරවාන්විතව ඉල්ලා අස් කර ගැනීමයි.

මෙම කරුණ ගැන වැඩි විස්තර දැන ගැනීමට ඔබතුමන්ට අවශ්‍ය නම් ඔබතුමන් පුද්ගලිකව හමු වී දැනුවත් කරන්නටද අප සුදානම්ව සිටින්නෙමු.

අල්ලාහ් අප සැමට නිසි මග පෙන්වත්වා.. ආමීන්

 

අෂ් ෂේක් එම්.එස්.එම් තාසීම්
(වැඩබලන) මහ ලේකම්
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *