මනුෂ්‍යත්වය පිළිබඳ ඉස්ලාමීය දෘෂ්ටිකෝණය

Ref: ACJU/NGS/2022/323

2022.08.19 (1444.01.20)

 

මනුෂ්‍යත්වය යනු සෑම මිනිසෙකු සතු විය යුතු මූලික ගුණාංගයකි. එමෙන්ම ඉස්ලාමයේ ප්‍රධාන ආගමික අගයකි.

ඉස්ලාමය යනු සුවිශේෂී ලක්‍ෂණවලින් යුත් අති උතුම් දහමකි. මේ අනුව ‘ඉන්සානියියා’ යැයි මනුෂ්‍යත්වයට අරුත ගෙන දෙයි. සර්ව බලධාරී අල්ලාහ් විසින් පනවා ඇති දිව්‍ය ආඥාවන් දෙස අධ්‍යයන කිරීමේදී, ඒවා මානව අවශ්‍යතා, ස්වභාවයන් සහ දුර්වලතා දෙස අවධානය යොමු කර ඇති බව වැටහේ.

මිනිසාව ඉස්ලාමය තුළින් මනුෂ්‍යත්වයෙන් හෙබි අයෙකු ලෙස නිර්මාණය කරයි. භාෂාව, වර්ණය, වර්ගය, දේශය මත පදනම්ව මනුෂ්‍යත්වය බෙදා නිර්වචනය කළ නොහැක. සාමාන්‍යයෙන් විකෘති චින්තනයක් හා ප්‍රතිපත්තියක් ඇති පුද්ගල‌යෙකු වුවද මිනිසෙක් ලෙස අර්ථකථනය දෙයි.

සර්ව බලධාරී අල්ලාහ් අල්-කුර්ආනයේ පහත පරිදි සඳහන් කරයි. “ජනයිනි, සැබැවින්ම අපි නුඹලාව පිරිමියෙකු හා ස්ත්‍රීයකුගෙන් මැවුවෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ජාතීන් හා ගෝත්‍ර බවට පත් කළෙමු…” (අල්-කුර්ආනය 49:13)

“නුඹලා මිනිසුනට යහ දේ පවසවු…” (අල්-කුර්ආනය 2:83)

මේ අනුව මිනිසුන්ට ආදරයෙන් කරුණාවෙන් යහ වචනවලින් කථා කිරීම මනුෂ්‍යත්වයේ ලක්ෂණයකි.

මිනිසා, මුස්ලිම් භක්තිකයෙකු දකින්නේ මේ පසුබිම තුළිනි. ඔහු මිනිසා තුළ මනුෂ්‍යත්වයෙන් හෙබි අයෙකු දකී. ඔහු තුළ කුල, ආගම, භාෂාව, ජාතිය, වර්ණය හා තරාතිරමේ කිසිඳු භේදයක් නොදකී.

ඉස්ලාමය තුළින් මනුෂ්‍යත්වය, මානවවාදය ප්‍රවර්ධනය කරන ලෙස අවධාරණය කරන්නේය. මනුෂ්‍යත්වය යනු මානව සබඳතාවන්හි ප්‍රධාන පදනමකි.

ඉස්ලාම් භක්තිකයන් සමග පමණක් නොව අන්‍ය ආගමිකයන් සමග මනුෂ්‍යත්වයෙන් සහ සහෝදරත්වයෙන් කටයුතු කරන ලෙස ඉස්ලාමය දේශනා කරයි.

ඉස්ලාමීය ඉතිහාසය පුරාම අපට මනුෂ්‍යත්වය පිළිබඳ බොහෝ නිදසුන් දැකිය හැකිය. නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණෝ යනු මුළු විශ්වයටම දයාලුවක් ලෙස එවන ලද මානුෂීය පණිවිඩකරුවෙකි.

නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණෝ, තමා ඉදිරියෙන් ගෙන ගිය යුදෙව්වෙකුගේ මෘත දේහය වෙනුවෙන් නැගිට ආචාර කළහ. ‘නුඹ නැගිට ආචාර කළේ මන්ද? එය යුදෙව්වෙකුගේ නොවේදැ’යි එතුමන්ගෙන් විමසූ විට, “එය ද ආත්මයක් නොවන්නේ දැ’යි එතුමාණෝ පිළිතුරු දුන්හ.” (මූළාශ්‍රය : සහීහ් අල්-බුහාරි)

මිනිසා සමඟ පමණක් නොව ජීවීන් සමඟ ද ආදරයෙන් සහ දයාවෙන් කටයුතු කරන ලෙස නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් අපට මඟපෙන්වා ඇත. එය ඊමානය හෙවත් දේව විශ්වාසයට සමීපතම ලක්ෂණයයි. ස්වර්ගයට අවතීර්ණ වීමට ද එය හේතු වන බව නබිවදන්හි සඳහන් වී ඇත.

මනුෂ්‍යත්වය සඳහා වෙරදැරීම දිරිමත් කරමින් සහ මානව හිතවාදී බව අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අගෝස්තු මස 19 වෙනිදා ‘ජාත්‍යන්තර මනුෂ්‍යත්ව දිනය’ ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ලොව පුරා මානුෂීය කටයුතුවල නියැලී සිටින සියලුම පුද්ගලයින්, ආයතන සහ සංවිධානවලට අල්ලාහ් ආශිර්වාද කරත්වා යැයි ප්‍රාර්ථනා කරන අතර ඔවුන්ගේ මහඟු මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමට සෞඛ්‍ය හා මානසික පරිණතභාවය ලබා දෙන ලෙස අපි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු.

මනුෂ්‍යත්වය මුල්කරගත් විශ්වීය දූතත්වයේ මෙහෙවරට හිමිකම් කියනා අපි, මනුෂ්‍යත්වයෙන් හා මානවවාදයෙන් කටයුතු කරමින් මෙරට ආදර්ශමත් පුරවැසියන් ලෙස ජීවත්වීමට සර්ව බලධාරී අල්ලාහ් ආශිර්වාද කරත්වා!

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *