මහජන සභාව ස්ථාපිත කිරීමේ උත්සවය වෙනුවෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සභාවේ ප්‍රකාශය

ACJU/NGS/2022/130

2022.05.21

 

ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ආණ්ඩු රාශියක් පත් වී තිබෙන බව අප සියල්ලන්ම දන්නා කාරණයකි. මෙකී ආණ්ඩු ජනතාවගේ අවශ්‍යතාවන්ට වඩා සිය දේශපාලනික හා පුද්ගලික අවශ්‍යතාවලට ප්‍රමුඛතාව ලබාදීම නිසා වර්තමානයේ රට ආර්ථික වශයෙනුත්, දේශපාලනික වශයෙනුත්, දැඩි අසීරු තත්ත්වයකට තල්ලු වී ඇති බව පැහැදිලිව පෙනී යයි.

සිය නියෝජිතයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ජනතාව ද විශ්වාසය කඩකරගෙන ඇති මේ අවස්ථාවේ දී, ජනතාවගේ ප්‍රශ්න, හැඟීම් සහ ඔවුන් ඉදිරිපත් කරන කරුණු අදාළ බලධාරීන් වෙත යොමුකිරිම පිණිසත්, ඒවාට සරිලන විසඳුම් ලබාගැනීම සඳහාත්, මහජන සභාව නමින් සංවිධානය වීම ප්‍රශංසා කළ යුතු වේ. එය ජාති, ආගම් භේදවලින් තොරව, සියලු ආගමික නායකයන්ගේ ආශිර්වාදය සහ මාර්ගෝපදේශ සහිතව, පොදු ජනතාව සහ වෘත්තිකයන් ඇතුළත් වන ලෙස ස්ථාපනය කිරීම සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සභාවේ ප්‍රසාදයට හේතු වන කරුණකි.

මහජන නියෝජිතයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම අදාළ බලයලත් නිලධාරීන් හරහා වර්තමානයේ මෙරට ජනතාව මුහුණදෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීම සඳහා මේ මහජන සභාව කටයුතු යොදනු ඇතැයි අප දැඩි සේ විශ්වාස කරමු.

තවද, අසීරුතාවලින් පිරුණු මේ කාලවකවානුවේ, ජනතාව විසින් ඉදිරිපත් කරන අදහස් සහ හැඟීම්වලට ගරු කර, මහජන සභාවේ අනුශාසනා විශේෂයෙන් සලකාබලමින්, විශිෂ්ට මහජන නියෝජිතයන් වශයෙන් මහජන නියෝජිතයන් ද, රාජ්‍ය නිලධාරීන් ද සිය වගකීම් සහ යුතුකම් ඉටුකරනු ඇතැයි සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සභාව අපේක්ෂා කරයි.

ජාති, ආගම් භේදවලින් තොරව, සෑම සියලු ජනතාව සඳහා වූ ආරක්ෂාවත්, ජාතින් අතර සමගියත්, ආර්ථික අභිවෘද්ධියත් ළඟාකරගනිමින්, රටේ ජනතාවට සෞභාග්‍යමත් අනාගතයක් උදාකරලීම සඳහා වූ ප්‍රශස්ත ක්‍රමයක් අප දේශයේ නිර්මාණය වේවා’යි සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සභාව ප්‍රාර්ථනා කරයි.

 

මීට,

 

අෂ්ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *