මානසික සෞඛ්‍යය පිළිබඳ ඉස්ලාමීය දෘෂ්ටිකෝණය

ACJU/NGS/2022/347

2022.10.10 (1444.03.13)

 

මානසික නිරෝගීභාවය යනු මානසික යහපැවැත්මයි. ‘නිරෝගීත්වය’ යන වචනයෙන් අදහස් වන්නේ මිනිසා තම කායික රෝගී තත්ත්වයෙන් නිදොස් බව පමණක් නොවේ. තම කායික, මානසික, සමාජීය සහ අධ්‍යාත්මික යහපැවැත්ම තුළ යමෙකුට හිමිකර ගත හැකි ඉහළම මට්ටමයි.

එබැවින් අපගේ කායික සෞඛ්‍යයට මෙන්ම මානසික සෞඛ්‍යය කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍ය වේ. ඇයිදයත්, මානසික බලපෑම් සහ ආතතිය ජීවිතයේ සුමට ප්‍රවාහයට සහ පැවැත්මට බෙහෙවින් බලපෑ හැකි බැවිනි. අයහපත් මානසික තත්ත්වය නිසා කාලය ගෙවී යාමත් සමඟ අසාමාන්‍ය හැසිරීම් ඇති කළ හැකි බව මනෝවිද්‍යාත්මක සැබෑවකි.

එබැවින් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ සෑම දිනකම උදේ සවස දුක් කරදරවලින් අල්ලාහ්ගෙන් රැකවරණය පැතූහ.

ඉස්ලාම් දහම, මිනිසාගේ අධ්‍යාත්මික බැඳීම ඔහුගේ මානසික සන්සුන්භාවයේ පදනම ලෙස සලකයි.

“(ඔවුන්) කවරහු ද යත් විශ්වාස කර තම හදවත් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් සැනසුමට පත් වූවෝය. දැන ගනිවු. හදවත් සැනසුමට පත් වනුයේ අල්ලාහ්ව මෙනෙහි කිරීමෙනි.” (අල්-කුර්ආනය, 13:28)

“ආත්මය මත හා එය නිසි ලෙස සකස් කළ ඔහු මත දිවුරමින්. පසුව ඔහු එ(ම ආත්මයෙ)හි දුෂ්ටභාවය හා එහි බිය භක්තිය (වෙන් කර හඳුනා ගැනීමේ හැකියාව) එයට කාවැද්දුවේය. කවරෙකු එය(ආත්මය) පිවිතුරු කළේ ද ඔහු සැබැවින්ම ජයග්‍රහණය කළේය. තවද කවරෙකු එය දූෂිත කර ගත්තේ ද සැබැවින්ම ඔහු පාඩු වින්දේය.” (අල්-කුර්ආනය, 91: 7-10)

එබැවින් සෑම විටම අපගේ හදවත අධ්‍යාත්මික සිතුවිලිවලින් සහ ධනාත්මක හා සුන්දර සිතුවිලිවලින් පුරවා ගැනීම අවශ්‍ය වේ. තම පවුලේ, වෘත්තියේ, සමාජයේ දෛනික යුතුකම් හා වගකීම් නිසි අයුරින් ඉටු කළ හැක්කේ මිනිසාගේ මනස සතුටින් හා සැනසුමින් පැවති අවස්ථාවන්හි පමණි. එමෙන්ම මානසික බලපෑමක් ඇති වූ අවස්ථාවක, ඔහුගේ දෛනික කටයුතුවලට ද එය බලපා සාමාන්‍ය ජන ජීවිතය අඩාල විය හැක.

නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. “දැන ගන්න! සිරුරේ මස් කැබැල්ලක් තිබේ. එය යහපත් වුවහොත්, මුළු ශරීරයම යහපත් වනු ඇත; එය අයහපත් වුවහොත් මුළු ශරීරයම අයහපත් වනු ඇත. එය හදවත යි.” (මූලාශ්‍රය: සහීහ් බුහාරි, සහීහ් මුස්ලිම්)

එබැවින් තම ක්‍රියාවන් පිවිතුරු වීමෙහි පළමු පියවර, තම මානසික පිවිතුරුභාවය යි. එබැවින් මනස යහපත් සහ ප්‍රාණවත් වූ විට පමණක් එය ඕනෑම දෙයක් පහසුවෙන් අවශෝෂණය කර ගනී. ඉස්ලාම් දහමට අනුව බාහිර අවයව වලින් සිදුකරන්නා වූ යහ ක්‍රියාවන්ට වඩා ආත්මීය යහ ක්‍රියාවන් වඩාත් ප්‍රයෝජනවත් වන්නේ එබැවිනි. ඊමාන්, ඉක්ලාස් හා තක්වා යන ක්‍රියාවන් ඉතා උසස්ම යහ ක්‍රියාවන් ලෙස සලකනු ලබන්නේ ද මෙනිසා ය.

මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සහ ඒවායින් පීඩාවට පත් වූවන්ට සහය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඔක්තෝබර් 10 වැනිදා ‘ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනය’ ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

පවුලේ උදවිය, මිතුරන්, රැකියා ස්ථානයේ උදවිය යන සියල්ලෝම මානසික සෞඛ්‍යය පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍ය වේ.

සර්වබලධාරී අල්ලාහ්, අප සියලු දෙනාහට මානසික ආතතියෙන් ආරක්ෂා කර සාමකාමී හා ප්‍රීතිමත් ජීවිතයක් දායාද කරනු මැනව! මානසික රෝගවලින් පෙළෙන සහ මානසික ගැටලු සමඟ පොරබදන අයට ඉක්මනින් සුවය ලබා දෙනු මැනව!

 

අෂ්-ෂේක් එච්. උමර්දීන්

සභාපති (වැඩබලන)

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *