මුහර්රම් මාසය – හිජ්රි 1445

2023.07.20 (1445.01.01)

 

මුහර්රම් යනු ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ පළමු මාසයයි. එය “අෂ්හුරුල් හුරුම්” (ශුද්ධ වූ මාස) ලෙස අල්-කුර්ආනයේ සඳහන් මාස හතරෙන් එකකි. මෙම මාසය “ශහ්රුල්ලාහ්” හෙවත් අල්ලාහ්ගේ මාසය ලෙස ද හැඳින්වේ.

“අහස් හා මිහිතලය මැවූ දින (සිට) අල්ලාහ්ගේ (ආරක්ෂිත) ලේඛනයෙහි ඇති පරිදි සැබැවින්ම අල්ලාහ් අබියස මාස ගණන මාස දොළොහකි. ඒවායින් ශුද්ධ වූ (මාස) හතරකි.” (අල්-කුර්ආනය 9:36)

මුහර්රම් මාසයේ සුවිශේෂිත්වයන්:

01) මුහර්රම් මාසයේ උපවාසශීලය:

අබු හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා වාර්තා කළහ: “අනිවාර්ය සලාතයට පසු ඉතා උතුම්ම සලාතය කුමක් දැයි? සහ රමළාන් උපවාසශීලයට පසු ඉතා උතුම්ම උපවාසශීලය කුමක් දැයි? නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ “අනිවාර්ය සලාතයට පසු ඉතා උතුම්ම සලාතය මැදියම් රාත්‍රියේ ඉටුකරන සලාතය වේ. රමළාන් මාසයේ උපවාසශීලයට පසු ඉතා උතුම්ම උපවාසශීලය අල්ලාහුගේ මාසය වූ මුහර්රම් මාසයේ උපවාසශීලයේ යෙදීම වේ” යනුවෙන් පැවසූහ.” (මූලාශ්‍රය: සහීහ් මුස්ලිම් – 1163)

02) ආශුරා උපවාසශීලය:

මුළු මුහර්රම් මාසයම ශුද්ධ වූ මාසයක් ලෙස හැඳින් වුවද, එම මාසයේ 10 වන දිනය අනෙක් සියලු දිනවලට වඩා උතුම් වේ. එදින උපවාසශීලයේ යෙදීම සුන්නත් වන අතර එදිනට “ආශුරා දින උපවාසශීලය” යනුවෙන් හඳුන්වනු ලැබේ. ආශුරා දින සහ ඊට පෙර දින හෝ පසු දින උපවාසශීලයේ යෙදීම සුන්නත් වූ නබි පිළිවෙතකි.

අබූ කදාතා (රළියල්ලාහු අන්හු) තුමා වාර්තා කරයි: “මුහර්රම් මාසයේ දසවන දින (ආශුරා) උපවාසශීලයේ යෙදීම මගින් ඊට පෙර වසරේ සිදු වූ ක්‍රියාවන් සඳහා අල්ලාහ් පව්සමාවක් ලෙස පත් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.” යැයි නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූහ.” (මූළාශ්‍රය: සහීහ් මුස්ලිම් – 1162)

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි.

නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ “ආශුරා” දින උපවාසශීලයේ යෙදී, මිනිසුන්ටද උපවාසශීලයේ නියැළෙන මෙන් අණ කළේය. එවිට ජනතාව, “අල්ලාහ්ගේ දූතයාණනි! මෙය යුදෙව්වන් සහ කිතුනුවන් ගරු කරන දවසක් නොවේ දැයි?” පැවසුවෝය. එවිට එතුමාණෝ ‘ඉන්ෂාල්ලාහ් (අල්ලාහ්ගේ අභිමතය පරිදි) අපි ලබන වසරේ (මුහර්රම්) නවවන දිනද උපවාසශීලයේ යෙදෙමු.’ නමුත් ඊළඟ වසර වන විට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අභාවප්‍රාප්ත විය.” (මූළාශ්‍රය: සහීහ් මුස්ලිම් – 1134)

සටහන: මෙම වසරේ ආශූරා උපවාසය 2023. 07. 29 වන සෙනසුරාදා දින නියැළිය යුතුය.

 

03) නබි මූසා (අලෙයිහිස් සලාම්) තුමා සහ ඔහුගේ ප්‍රජාව ආරක්ෂා වූ දිනය:

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමාණෝ මෙසේ පැවසූහ: “අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ, මදීනාවට සංක්‍රමණය වූ විට, යුදෙව්වන් මුහර්රම් (ආශුරා) දසවන දින උපවාසශීලයේ යෙදී සිටිනු දුටුවේය. එවිට එතුමාණෝ “ඔබ උපවාසශීලයේ යෙදී සිටින දවස කුමක් දැයි?” විමසුවේය. එවිට යුදෙව් ජනයා, “මෙදින උතුම් දිනයකි. මෙදින අල්ලාහ් විසින් නබි මූසා (අලෙයිහිස් සලාම්) තුමා සහ එතුමාගේ ප්‍රජාව පාරාවෝ රජුගෙන් බේරා, ඔහු සහ ඔහුගේ සේනාව (රතු මුහුදේ) ගිල්වා දැමූ දිනය වේ. එබැවින්, නබි මුසා (අලෙයිහිස් සලාම්) තුමා අල්ලාහ්ට කෘතවේදී වීම පිණිස මෙදින උපවාසශීලයේ යෙදුණහ. එසේ හෙයින් අපිත් මෙදින උපවාසශීලයේ යෙදෙන්නෙමු”යි පැවසුවෝය. එවිට නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ, “අපි ඔබට වඩා නබි මූසා (අලෙයිහිස් සලාම්) තුමා වෙත සමීපතයෝ වෙමු” යැයි පැවසුවේය. අනතුරුව නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ (එදින) උපවාසශීලයේ යෙදී, (තම ජනතාවටද) උපවාසශීලයේ යෙදෙන මෙන් අණ කළහ.” (මූළාශ්‍රය: සහීහ් මුස්ලිම් – 1130)

 

මාධ්‍ය අංශය

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *