ACJU/NGS/2024/378
2024.09.16 (1446.03.12)
‘රබීඋන්’ යනු වසන්තයයි. වසන්තය පෘථිවියට අලංකාරය, සශ්‍රීකත්වය සහ සෞභාග්‍යය ගෙන එයි. එසේම රබිඋන් මාසයේ උපත ලද අපගේ ආදරණීය නබි මුහම්මද් තුමාණන් ආලෝකයේ, විමුක්තියේ, ජයග්‍රහණයේ, සමෘද්ධියේ, සාමයේ දූතයෙකු ලෙස ද දෙවියන් වහන්සේගේ කරුණාව ද මිනිස් ප්‍රජාව වෙත ගෙන ආවේය.
අල්ලාහ් තආලා විසින් මෙලොවට එවන ලද සියලුම නබිවරුන් මිනිසුන්ට ඒකදේවවාදය, දූතත්වය සහ පරලොව පිළිබඳව ඉගැන්වූහ. දෙවියන්ගේ අවසාන දූතයා වන නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් එම කාර්යය ඉටු කිරීම සඳහා අල්ලාහ් තආලා විසින් තෑග්ගක් ලෙස මෙලොවට එවන ලදී.
පහත දැක්වෙන අල් කුර්ආන් වාක්‍යයන් මගින් මෙය පැහැදිලිව පෙන්වා දී ඇත.
“ඔහු (අල්ලාහ් ලිවීමට කියවීමට නොහැකි) නූගත් අය අතුරට ඔවුන් අතුරින්ම ඔහුගේ වදන් ඔවුනට පාරායනය කරන ඔවුන්ව පිවිතුරු කරන ධර්ම පුස්තකය හා ප්‍රඥාව ඔවුනට හදාර වන රසූල්වරයෙකු එව්වේය.” (සූරා ජුමුආ : 02)
“තවද (නබිවරය,) සමස්ත විශ්වයන්ට දයාලුවක් මිස අපි නුඹව (නබිවරයෙකු වශයෙන්) නොඑව්වෙමු.” (සූරා අන්බියා 107)
මේ ආකාරයට නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ උපත වන රබිඋනිල් අව්වල් මාසය කැපී පෙනෙන අවස්ථා රාශියක් ලබා ගනී. ඓතිහාසික වශයෙන් වැදගත් වන මිලාදුන් නබි දිනය ලෙස ද හැඳින්වෙන නබි මුහ්ම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ උපන් දිනය ලොව පුරා ප්‍රීතිය හා සතුට ප්‍රකාශ කළ හැකි විශිෂ්ට සිදුවීම් සහිත දිනයකි.
එතුමන් මනුෂ්‍ය වර්ගයාට මාර්ගෝපදේශකයකු සහ ආදර්ශමත් අයෙකු විය. එතුමන් සෑම කෙනෙකුටම කරුණාවෙන් හා ආචාරශීලීව සැලකූහ. එතුමන් මනුෂ්‍යත්වය, ළමා අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම් සහ ජාතීන් අතර සහජීවනය වෙනුවෙන් සිය ජීවිතය කැප කළේය. එතුමන් සෑම අවස්ථාවකදීම දැහැමිව හැසිරුණු අතර දුප්පතුන්ගේ සහ අනාථයින්ගේ උණුසුම සමඟ ජීවත් වූහ. එතුමන් සෑම ප්‍රජාවක්ම ඇතුළත් සාධාරණ ප්‍රතිපත්තියක් වන ‘මදීනා ප්‍රඥප්තිය’ හඳුන්වා දුන්හ. එතුමන් අධ්‍යාත්මික හා ලෞකික යන දෙඅංශයෙන්ම විශාල සාර්ථකත්වයක් අත්කර ගත්හ. මානව ඉතිහාසයේ වඩාත්ම බලගතු පුද්ගලයා ලෙස නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් හඳුනාගනු ලබන්නේ එබැවිනි.
අල්ලාහ් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තුළින් නබිත්වයට තිත තැබුවේය. පරලොව දක්වා මිනිස් සමාජයට මග පෙන්වීමේ වගකීම එතුමන්ට පවරනු ලැබීය. එබැවින් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මිනිස් ජීවිතයේ සෑම අංශයකටම එකම මාර්ගෝපදේශකයා බවට පත්විය. එතුමාගේ මුළු ජීවිතයම මනුෂ්‍ය වර්ගයාට සුන්දර ආදර්ශවලින් පිරී තිබුණි. මෙම කරුණ අල්-කුර්ආනය මෙසේ සඳහන් කරයි.
“සැබවින්ම අල්ලාහ්ගේ රසූල්වරයා තුළ නුඹලාට අලංකාරවත් ආදර්ශයක් ඇත.” (සූරා අල් අහ්සාබ් 21)
අවම වශයෙන්, නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි සලවාත් සහ සලාම් (අල්ලාහ්ගේ සාමය සහ ආශීර්වාදය) කියමින්, එතුමන්ගේ නම සඳහන් කිරීමේ දී සහ එතුමන්ගේ නම පවසනු අසනු ලබන විට ගෞරවාන්විතව සලාවාත් කීම, එතුමන්ගේ පවුල (අහ්ලුල් බයිත්), නිර්මල භාර්යාවන් සහ සහචරයන් (සහබා) හට ආදරය හා ගෞරවය දැක්වීම, හදීස් ඉගෙනීම, සුන්නාහ් පිළිපැදීම සහ ක්‍රියාවට නැංවීම, එතුමාණන්ගේ පෞරුෂ ලක්ෂණ අවබෝධ කර ගැනීමට සහ අධ්‍යයනය කිරීමට කාලය ගත කර, නිවැරදි වැටහීමෙන් යුතුව අනෙකුත් අය හට ද ඒවා අලංකාර ලෙස හඳුන්වා දීම තුළින් එතුමන්ගේ ප්‍රජාව වශයෙන් අපගේ යුතුකම සහ වගකීම වන්නේ අන් අයගෙන් එතුමන් පිළිබද වැරදි වැටහීම් ඉවත් කර, ඔවුන්ට නිවැරදි අවබෝධය ලබා දී නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි සද්භාවයක් ඇති කරවීමය.
අල්ලාහ් තආලාගේ අවසාන දූතයාණන් වන නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් යවනු ලැබුවේ සෑම දෙයකින්ම පරිපූර්ණවය. එතුමන් බාහිර පෙනුම, අභ්‍යන්තර පෙනුම සහ චරිතාපදානය යන තුන් අංශයෙන්ම පරිපූර්ණ වූහ.
නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ජීවිතයේ සෑම තරාතිරමක්ම ආදර්ශමත් විය. ඇදහිල්ල, නමස්කාරය, පුණ්‍යකර්ම, ගෘහ ජීවිතය, ගුණධර්ම, පෞද්ගලික ජීවිතය සහ සමාජ ජීවිතය යන සෑම අංශයකම එතුමන් ආදර්ශමත් විය.
නබිතුමාණන් යහපත් පියෙකු, යහපත් ස්වාමිපුරුෂයෙකු, නිර්භීත සෙන්පතියෙකු, ආදර්ශමත් නායකයෙකු සහ ආදර්ශමත් දේශකයෙකු වූ අතර සෑම ක්ෂේත්‍රයකම අනුකරණය කළ හැකි ජීවිතයක් ගත කළේය.
නබිතුමාණන් විසින් ගෙන ආ ධර්මය සහ උන්වහන්සේගේ ජීවන විලාසය සියලු මිනිසුන්ට පහසුවෙන් පිළිගත හැකි සහ සියලු තත්ත්වයන්ට සුදුසු බව ලොවට පුදුමයට පත් කරන කරුණකි.
එතුමන් ගෙන ආ ඉස්ලාමීය පණිවිඩය දෙලොව ජයග්‍රහණයට පදනම විය. එතුමන් සාමය හා සමාදානය දේශනා කළේය. එතුමන්ගේ දූතත්වය අශිෂ්ට සම්පන්නව දිවි ගෙවූවන්ව ශිෂ්ට සම්පන්න දිවියක් කරා ගෙන යාමට සමත් විය.
“විශ්වාස කළවුනි, නබිවරයාගේ හඩට වඩා නුඹලාගේ හඩ උස් නොකරවු. නුඹලාගෙන් සමහරු තවත් සමහරුන් සමග හඩ නගා කතා කරන්නා සේ ඔහු සමග කතා කිරීමේ දී ශබ්ද නගා කතා නොකරවු.” (සූරා හුජුරාත් : 02)
“නුඹලාගෙන් සමහරෙක් තවත් සමහරෙකු අමතන්නා මෙන් නුඹලා අතර රසූල්වරයාව ඇමතීම නොකරවු.” (සූරා අන් නූර් : 63)
ඉහත වාක්‍යයන් තුළින් අල්ලාහු තආලා ආදරණීය නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ හඬක් නැගීම සහ ඔහු සමඟ අගෞරවයෙන් හැසිරීම තහනම් කර ඇති බව වටහා ගත හැක.
ඒ අනුව, නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ උතුම් සහචරයන් තම ජීවිතයට වඩා ඔහුට ආදරය කළ අතර ඔහුට ඉතා ආදරය, ගෞරවය සහ ආචාරශීලීව සැලකූහ.
එබැවින් අල්ලාහු තආලාගේ මඟපෙන්වීම මත පදනම්ව අපි ද අපගේ ජීවිතයට වඩා ගෞරවයෙන් හා අභිමානයෙන් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට ආදරය කරමු. අපි එතුමන්ගේ ජීවිත ගැඹුරින් අධ්‍යයනය කර එතුමන් කෙරෙහි ආදරය සහ සෙනෙහස අපේ දරුවන් තුළ ද ඇති කරවමු.
අල්ලාහ් අප සියලු දෙනාම අවසාන දිනය දක්වා නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් )තුමාණන් පෙන්වා දුන් මාර්ගයෙහි ජීවත් වීමට සලස්වා, ඔහු සමඟ ස්වර්ගයේ එකට ජීවත් වීමේ වරප්‍රසාදය ලබා දෙත්වා!
මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
අෂ් ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහ ලේකම්
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව