යොමු අංකය: ACJU/NGS/2023/195
2023 අගෝස්තු මස 12 වෙනිදා (1445.01.24)
නව යොවුන් විය යනු සෑම මිනිසෙකුගේම ජීවිතයේ වැදගත් කාල පරිච්ඡේදයකි. එමෙන්ම එය පුද්ගලයෙකුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයකි. යම් තරුණයෙක් තම ජවසම්පන්න අවදිය යහපත් අයුරින් ගත කරන්නේ නම්, ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය අර්ථවත් වනු ඇත. එසේත් නැතිනම් යමෙක් තම තාරුණ්‍යය නරක ආකාරයෙන් ගත කරන්නේ නම්, ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය දූෂිත හා අර්ථ විරහිත වනු ඇත.
නබි ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) තුමාණෝ තම දහම පිළිබඳව ඉස්ලාමය ගැන නිර්භීතව දේශනා කළ තරුණයෙකි. එම සමයේදී එතුමා ඉස්ලාමය වෙනුවෙන් කළ කැපකිරීම් වර්ණනා කොට අල්-කුර්ආනය සඳහන් කර ඇත.
“සැබැවින්ම ඉබ්රාහීම්, අල්ලාහ්ට අවනත වන (ඍජු දහම වෙත) නැඹුරු වූ ඔහුගේ භාග්‍යයන් වලට කෘතවේදියෙකු වූ (ආදර්ශමත්) මෙහෙයවන්නෙකු විය. තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් නොවූහ. ඔහු(අල්ලාහ්) ඔහුව (නබිත්වය සඳහා) තෝරා ගත්තේය. තවද ඔහුව ඍජු මාර්ගය වෙත යොමු කළේය.” (අල්-කුර්ආනය 16:120-121)
කිසිඳු සෙවණක් නොමැති ලොව අවසන් විනිශ්චය දිනයේදී, අල්ලාහ් තම අර්ෂයෙහි සෙවණ හත් දෙනෙකු වෙත ලබා දෙනු ඇත. එම හත්දෙනා අතුරින් තම ජීවිතය සම්පූර්ණයෙන්ම අල්ලාහ් වෙනුවෙන් කැප කර, තරුණවිය නැමදුම්හි ගත කළ තරුණයන් සිටින බව නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පවසා ඇත.
දහම, සමාජය සහ ලෝකයේ ප්‍රගතිය සඳහා තරුණයන්ගේ කැපවීම ඉතා අත්‍යවශ්‍ය වේ. තරුණ තරුණියන්ගේ හැකියාවන් හඳුනාගෙන ඔවුනට වගකීම් පැවරීම තුළින් ඔවුන්ගේ අනාගතය ඉතා ප්‍රයෝජනවත් ලෙස පරිවර්තනය වනු ඇත. ඉස්ලාමයේ දියුණුව වෙනුවෙන් වෙහෙස මහන්සි වූ නබිවරුන්, නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමඟ උරෙන් උර ගැටී කටයුතු කළ සහාබිවරුන්ගේ හා ඉස්ලාමීය රාජ්‍යය පාලකයන්ගේ ඉතිහාසය දෙස බැලූ කල මොවුන් බොහෝ දෙනෙක් තරුණයින් වීම අපට මහත් ආදර්ශයකි.
නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තරුණයන් සමඟ ඉතා සුහදව කටයුතු කළ බව ප්‍රකටය. අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා, සයීද් ඉබ්නු හාරිසා (රළියල්ලාහු අන්හු) තුමා, මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා, අබු සයිද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා ඇතුළු බොහෝ සහාබිවරු උදාහරණ ලෙස සඳහන් කළ හැකිය.
ආහාර අනුභව කිරීම, ඇසුරු කිරීම, අන් අය සමඟ හැසිරීම, සමාජ අධ්‍යයනය, දේශප්‍රේමය, අවබෝධය සහ රටක පාලනය සිදු විය යුතු ආකාරය ඇතුළු සියලු කරුණු සහාබිවරු නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමග සමීපව සිට ඉගෙන ගත්හ. නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ද එළෙසම තරුණයන් හික්මවා ගත්හ.
තරුණ වියේ පසුවන අය විනයගරුක විය යුතුයි. විවාහ වීමට හැකියාව ඇති තරුණ තරුණියන්ට විවාහය සඳහා ඉස්ලාමය දිරිමත් කර ඇත. මන්ද “විවාහය පාපකාරී ක්‍රියාවන් හා නාස්තිකාර දේවලින් ආරක්ෂාව ලබන පළිහක් වේ” යැයි නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මඟපෙන්වා ඇත.
පොදුවේ ගත් කල හා ඉස්ලාමය තරුණ තරුණියන්ට ලබා දී ඇති වැදගත්කම අනුව තරුණ ප්‍රජාව යනු සමාජයේ මහත් ගෞරවයක් හිමි විය යුතු කොට්ඨාසයකි. ඒ නිසා සමාජයේ සෑම සමාජ ව්‍යුහයකම ජ්‍යෙෂ්ඨයන්, බුද්ධිමතුන්, උගතුන් තම සමාජ සේවාවන් සඳහා තරුණ ප්‍රජාව සම්බන්ධ කර ගැනීමට ඉදිරිපත් විය යුතුයි.
මේ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය අගෝස්තු 12 වෙනිදා “ජාත්‍යන්තර යෞවන දිනය” යන නමින් ප්‍රකාශයට පත් කර ඇත. ජාත්‍යන්තර වශයෙන් තරුණයින් මුහුණ දෙන අභියෝග, පීඩනය සහ අපයෝජනයන්ට එරෙහිව දැනුවත් කිරීම සඳහා මෙම දිනය ප්‍රකාශයට පත් කර ඇත.
එමෙන්ම සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ ද යෞවන කටයුතු අංශය නමින් වෙනම අංශයක් පිහිටුවා ඇති අතර තරුණ තරුණියන් සඳහා ආගමික හා අධ්‍යාපනික දිශානතිය වෙනුවෙන් නිරන්තරයෙන් වැඩසටහන් පවත්වයි. ඊට අමතරව දිවයිනපුරා නිරෝගිමත් ජීවිතයක්, යහපත් පුරවැසියන් බිහිකිරීම, විවිධ නරක ඇබ්බැහිවීම් වලින් මිදීම, වෘත්තීය මාර්ගෝපදේශනය සහ නායකත්ව පුහුණුව යන තේමා යටතේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන බවද මෙහිදී සඳහන් කළ යුතුය. මෙම ප්‍රයත්නයන් සඳහා ඔබගේද සහයෝගය ලබා දෙන මෙන් අප සභාව සැමට කාරුණිකව ආරාධනා කරයි.
එබැවින් අනාගත ලෝකය සහ අනාගත පරපුර නියෝජනය කරන අපගේ තරුණ තරුණියන් තම දහමෙහි ස්ථීරව සිටීමටත්, ලෞකික අධ්‍යාපනයෙන් ද විශිෂ්ට දස්කම් දක්වමින් සියලු ක්ෂේත්‍රවල ඉදිරියටම යාමටත් මහා කාරුණික අල්ලාහ් ආශිර්වාද කරත්වා! ඒ සඳහා නිරෝගිමත්භාවයත් යහ චින්තනයත් ලබා දෙනු මැනව’යි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ප්‍රාර්ථනා කරයි.
අෂ්-ෂෙයික් මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහ ලේකම්
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව