රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන්

යොමු අංකය: ACJU/NGS/2022/096

2022 අප්‍රේල් 21 වෙනිදා (1443.09.19)

 

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම සහ ඉන්ධන හිඟය හේතුවෙන් මෙරට ජනතාව අර්බුද රැසකට මුහුණ දී සිටින අතර, ඒ හේතුවෙන් ජනතාව තම අවශ්‍යතා පෙරදැරිව ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ සහ විරෝධතාවන්ට යොමු වෙමින් සිටියි.

මීට සබැඳිව පසුගිය 2022.04.19 දින රඹුක්කන ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුරදී පොලිස් වෙඩි පහරින් මියගිය  කේ.ඩී. චමින්ද ලක්ෂාන් සොයුරාගේ පවුලේ සැමට සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සිය බලවත් ශෝකය සහ සංවේගය ප්‍රකාශ කරන අතර, මෙම සිද්ධියෙන් තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරයි.

අප සභාව සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම තරයේ හෙළා දකින අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන හා විනිවිද පරීක්ෂණයක් පවත්වා සුදුසු පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

සියලු පාර්ශ්වයන් ප්‍රචණ්ඩත්වයෙන් වැළකී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තම කටයුතු කරගෙන යන ලෙසත්, විශේෂයෙන්ම අදාළ බලධාරීන් ජනතාවගේ හැඟීම්වලට ගරු කරමින් ඔවුන්ගේ ඉල්ලීම්වලට සවන් දෙන ලෙසත්, සුදුසු විසඳුම් ලබාදීම සඳහා කටයුතු කරන ලෙසත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව කාරුණිකව ඉල්ලා සිටියි.

මෙරට ජනතාව මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වයන් සමනය වී සාමකාමී වාතාවරණයක් අප රට තුළ උදාවේවා’යි සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ප්‍රාර්ථනා කරයි.

 

අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසීම්

මහලේකම් (වැඩ බලන),

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *