ACJU/NGS/2022/378
2022.11.16 (1444.04.20)
රිස්සීමේ ගුණාංගය යනු ඉස්ලාමය මගින් මඟපෙන්වනු ලබන ඉතා වැදගත් සදාචාරාත්මක ගුණාංගයකි. මෙම ගුණාංගය පරිත්‍යාගශීලීත්වය, ආචාරශීලී බව, ගරුත්වය, සෑහීමට පත්වීම, ඉවසීම, සමාව දීම සහ අමතක කිරීම යන විවිධ ගුණාංග සමඟ සමීපව සම්බන්ධ වේ.
රිස්සීම යන යහගුණාංගයෙන් තොරවූ පුද්ගලයා ඊර්ෂ්‍යාව, සතුරුකම, විරෝධය, ක්‍රෝධය හා පළිගැනීම වැනි නරක ගුණාංග වටලා ගනී.
ඉස්ලාමය තුළින් රිස්සීම යන ගුණාංගයට පුළුල් පරාසයක අර්ථ ගන්වා ඇත. අන්තර් පුද්ගල සබඳතා, පවුල් සහ අසල්වැසි සබඳතා, වෘත්තීය සබඳතා, සමාජ සබඳතා, අන් ජාතීන් ආගම් සංස්කෘතීන් සහ විදෙස් සබඳතා වැනි සියලු සබඳතාවල ප්‍රීතිමත් යහපැවැත්ම සඳහා රිස්සීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි.
පරම දයාලූ අල්ලාහ්, අල්-කුර්ආනයේ දේව භක්තිවන්තයින්ගේ (මුත්තකීන්වරුන්ගේ) ලක්ෂණ පිළිබඳව පහත අයුරින් සඳහන් කොට ඇත. එනම්, “…ඔවුහු කෝපය මැඩ පවත්වා ගන්නෝ වෙති. තවද (ඔවුන්ට අපරාධ කළ) ජනයින්ට සමාව දෙන්නෝ ද වෙති. අල්ලාහ් යහපත කරන්නන්ව ප්‍රිය කරන්නේය.” (අල්-කුර්ආනය; 03:134)
නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. “එකිනෙකා සමඟ අමනාප නොවන්න. ඊර්ෂ්‍යා නොවන්න. බෙදී වෙන්වී නොයන්න. අල්ලාහ්ගේ ගැත්තනී! ආදරය පෙන්වීමේදී සහෝදරයන් වන්න. මුස්ලිම්වරයෙකුට තම සහෝදරයා සමඟ (අමනාප වී) දින තුනකට වඩා කතා නොකර සිටීමට අනුමැතිය නැත.” (මූලාශ්‍රය: සහීහ් අල්-බුහාරි)
පරම දයාලූ අල්ලාහ් අල්-කුර්ආනය මගින් තම ගැත්තාගෙන් මෙසේ විමසයි. “නුඹලාගෙන් සමහරෙකු තවත් සමහරෙකුට පිරික්සුමක් ලෙස අපි පත් කළෙමු. (එවිට එම පිරික්සුම අබියස) නුඹලා ඉවසීමෙන් සිටින්නෙහු ද?” (අල් කුර්ආනය; 25:20)
එබැවින් නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ”මිනිසුන් අතර ජීවත් වී ඔවුන්ගෙන් අත්වන දුෂ්කරතා විඳදරා ගන්නා විශ්වාසිකයෙකු, මිනිසුන් අතර ජීවත් නොවී ඔවුන්ගෙන් අත්වන දුෂ්කරතාවන් නොඉවසන විශ්වාසිකයාට වඩා උසස් ය.” යැයි ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: ඉබ්නු මාජා)
නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ජීවන චර්යාව තුළ රිස්සීමෙන් කටයුතු කිරීම පිළිබඳ බොහෝ උදාහරණ ආදර්ශයක් ලෙස ගත හැක.
නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මදීනා දේශයේ ස්ථාපිත කළ දේශපාලන හා සමාජ ජීවිතය තුළින් බහුත්වවාදය, යුක්තිය, සමානාත්මතාව සහ මානව හිමිකම යන විෂයන් සියලු පුරවැසියන්ට සහතික කර පෙන්වීය. දහම, දේශය, වර්ණය, ප්‍රදේශ යන කිසිඳු භේදයකින් තොරව රටක සියලු පුරවැසියන් එකම ධජයක කොටස්කරුවන් යන දේශපාලන සත්‍යය ය එතුමාගේ මදීනා ප්‍රඥප්තිය තුළින් ප්‍රකාශ කළේය.
බහු සංස්කෘතිකවාදය සහ ජනයා අතර රිස්සීමේ ගුණාංගය ප්‍රවර්ධනය කිරීම හා එහි අව්‍යශතාව දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නොවැම්බර් 16 වන දින “ජාත්‍යන්තර රිස්සීමේ දිනය” යනුවෙන් සමරනු ලබයි.
ශ්‍රී ලංකාව වැනි බහුවාර්ගික සමාජයක් ඇති රටක රිස්සීම සහ වාර්ගික සහජීවනය ඉතා අත්‍යවශ්‍ය වේ. සමාජය තුළ ජීවත්වීමේදී බහුත්වවාදයට ගරු කරමින් මනුෂ්‍ය ජීවිතයේ පරස්පරතාවන් හා මතභේද අවබෝධ කරගත් විට සමගිය සහ සහජීවනය තහවුරු කරගත හැකි වන්නේය. මෙමගින් ජාතියේ සංවර්ධනය හා ගොඩනැගීම සහතික වන්නේය.
එබැවින් අප සැම අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා හැගීම්වලට ගරු කරමු. සමාව දෙමු. ප්‍රීතිමත් වාර්ගික සහජීවනයක් ඇති කර ගැනීම සඳහා රිසීමෙන් කටයුතු කරමු. රටේ සංවර්ධනයට දායක වන ආදර්ශමත් සමාජයක් ලෙස දියුණු වී ජීවත් වීමට පරම දයාලූ අල්ලාහ් අප හට ආශිර්වාද කරත්වා!
මුෆ්ති එම්. අයි. එම්. රිස්වි
සභාපති
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව