ලංකාවේ පිහිටි අරාබි පාසල් විදුහල්පතිවරු, පරිපාලන කමිටු සඳහා 2019.06.12 වැනි බදාදා දින දෙහිවල ජුම්මා මස්ජිදයේ පවත්වන ලැබූ සමුළුවේදී ගනු ලැබූ තීන්දු තීරණ

සෑම ආගමකට අයත් පුද්ගලයෙක්ම තම තමන්ගේ ආගමික නායකයින් දේශකයින් බිහිකිරීම සඳහා වෙන වෙනම පාසල් හා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවාගෙන ඇති පරිදි ඉස්ලාමීය දේශකයින් හා ආගමික නායකයින් බිහි කිරීමේ අරමුණින් පසු ගිය වසර 150 ක් තිස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින කලා පීඨ මද්රසා හෙවත් අරාබි දහම් පාසල් නමින් හැඳින් වේ.

ලංකාවේ මුල්ම අරාබි විදුහල වර්ෂ 1870 දී ගාල්ල තලාපිටිය ‘සාවියතුල් මක්කීයතුල් ෆාසිය්යතුල් ෂාදුලිය්යා’ යන නමින් ආරම්භ කරන ලද අතර  වර්ෂ 1884 දී වැලිගම ‘අල් මද්රසතුල් බාරි’ අරාබි විදුහල ද වර්ෂ 1894 දී ගාල්ල ‘බහ්ජතුල් ඉබ්‍රාහිමිය්යා’ අරාබි විදුහල ද, වර්ෂ 1931 දී මහරගම ගෆූරිය්යා අරාබි විදුහල ද, වර්ෂ 1954 දී අට්ටාලච්චේන ‘ලංකා නැගෙනහිර අරාබි විදුහල ද, වර්ෂ 1955 දී කාත්තන්කුඩි අල් ෆලාහ් අරාබි විදුහල ද, වර්ෂ 1959 දී කාන්තාවන් සඳහා කල්එලිය මුස්ලිම් බාලිකා අරාබි විදහල ද ආරම්භ කරන ලදී.

අරාබි ඉස්ලාම් පාඨමාලාව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ ඉතා මුල් කාලයේ සිටම ඇතුළත්ව තිබුණු පාඨමාලාවක් බව මෙහි දී ඉතා අවධාරණයෙන් සඳහන් කරනු ලැබීය. රාජ්‍ය මට්ටමින් පාසල්වල ද විශ්ව විද්‍යාල මට්ටමින් ද අරාබි භාෂාව ඇතුළු ඉස්ලාමීය පාඨමාලා එදා පටන් උගන්වනු ලැබීය. 1940 මුල් කාලයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අරාබි, ඉස්ලාම් සංස්කෘතිය යන අංශ පිහිටුවන ලදී.

 

පාසල් මට්ටමින් අරාබි හා ඉස්ලාම් පාඩම් ඉගැන්වීම සඳහා ගත වූ දසකය  කාලයක් තිස්සේ මව්ලවි ගුරුපත් වීම් රජය විසින් පිරිනමන ලදී.

ඉස්ලාමයේ ඇති ප්‍රධාන මූලාශ්‍ර සියල්ල අරාබි බසින් තිබෙන බැවින් මද්රසා හෙවත් අරාබි පාසල් තුළ අරාබි භාෂාව හා  වෙනත් ඉස්ලාමීය කලාවන් උගන්වන අතරම සිංහල, ඉංග්‍රීසි යන භාෂාවන් ද උගන්වනු ලැබේ. මද්රසා බොහෝමයක අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සඳහා සිසු දරුවන් සූදානම් කරනු ලැබේ.

රාජ්‍ය අනුමැතිය හිමි වූ පළමු අරාබි ඉස්ලාම් පාඨමාලාව මුල් කර ගනිමින් 2013 වර්ෂයේ සිට විභාග දෙකක් විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබයි. ඒ අනුව රාජ්‍ය අනුමැතිය හිමි වූ පාඨමාලාව මුල් කර ගනිමින් මද්රසාවන් තුළ ඉගැන්වීම් කටයුතු සිදු කරනු ඇත.

රටට, සමාජයට හා දහමට සේවය කරන සදාචාරසම්පන්න හා යහපත් ගතිපැවතුම් ඇති දේව ගැත්තන් හා දැහැමි පුරවැසියන් බිහි කිරීමේ මහඟු සේවාවක අරාබි මද්රසා නියැළී සිටියි. විශේෂයෙන් වර්තමානයේ ජාතීන් අතර පවතින් ගැටුම් කාරී තත්ත්වය සැලකිල්ලට ගෙන සමාජ යහපත හා  සහජීවනය උදා කිරීමට අවශ්‍ය මග පෙන්වීම් මද්රසා සිසු දරුවන් සඳහා උගන්වනු ලබන බව තරයේ පවසා සිටින්නට කැමැත්තෙමු.

 උක්ත මහා සමුළුවෙහි පහත සඳහන් තීන්දු තීරණ ගන්නා ලදී.

  1. 2019 අප්‍රේල් මස 21 වැනි දින සිදු කරන ලද ම්ලේච්ච ත්‍රස්ථවාදී ප්‍රහාරය මෙම සමුළුම ඉතා දැඩි ලෙස හෙළා දකියි.
  2. මෙම ප්‍රහාරයෙන් මිය ගිය ඇත්තන්ගේ පවුල් සාමාජිකයිනට තම බලවත් ශෝකය ඵල කර සිටි අතර තුවාළ ලැබූවන් ඉතා ඉක්මණින් සුවය ලබන්නට මෙම සමුළුව ප්‍රාර්ථනා කරයි.
  3. ම්ලේච්ච ත්‍රස්තවාදයට හා සාමය, සමාදානය හා සහජීවනය යන උසස් ගුණාංග උගන්වා දිරිමත් කරන ඉස්ලාමයට කිසිදු සම්බන්ධතාවක් නැති බව මෙම සමුළුව තරයේ පවසා සිටියි.
  4. මෙම ප්‍රහාරයට ඍජුව හෝ වක්‍රව කටයුතු කළ සියලු දෙනාහට දැඩි දඬුවම් දිය යුතු බව මෙම සමුළුව ඉල්ලා සිටියි.
  5. කුරුණෑගල, පුත්ලම, ගම්පහ යන පළාත්වල මුස්ලිම්වරුන්ට එරෙහිව ක්‍රියාත්මක වූ ජාතිවාදී ප්‍රහාරයන්ද සමුළුව ඉතා දැඩි ලෙස හෙළා දකින අතර එම කටයුතු වල නිරත වූවන් සඳහා නිසි දඬුවම් ලබා දිය යුතු බව අදාළ බලධාරීන්ගෙන් මෙම සමුළුව ඉල්ලා සිටියි.
  6. ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමග සමබ්න්ධ පුද්ගලයින් ඉතා කෙටි කලක් තුළ අත් අඩංගුවට ගෙන රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගත් ජනාධිපති තුමා, අගමැති තුමා ඇතුළු රජයට හා ආරක්ෂක අංශවලට මෙම සමුළුව ස්තුතිය පුද කර සිටියි. එමෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමග අත් අඩංගුවට පත්ව ඇති අසරණ නිර්දෝෂී පුද්ගලයින් ඇත්නම් ඉතා ඉක්මණින් නිදහස් කිරීමට රජය කටයුතු කළ යුතු යැයි ද මෙම සමුළුව ඉල්ලා සිටියි. ‍
  7. මද්රසා තුළ ක්‍රියාත්මක වන පාඨමාළා සියල්ල මෙරටේ නීතියට යටත්ව පිහිටා ඇති බවත් එහි ත්‍රස්තවාදය දිරිගන්වන හෝ උගන්වන කිසිදු කරුණක් නොමැති බවත් ස්ථීර වශයෙන් හා වගකීමෙන් යුතුව මෙම සමුළුව පවසා සිටියි.
  8. ලංකාවේ ත්‍රස්තවාදය හා එම චින්තනය මුල් සමග උගුලා දමන්නට මද්රසා වන් කැපවීමෙන් ක්‍රියා කරනු ඇතැයි මෙම සමුළුව වගකීමෙන් ප්‍රතිඥා දෙයි.
  9. මෙරටේ මද්රසා අරාබි පාසල් පිළිබඳ දකින්නට ඇති වැරදි මත දුරු කොට ජාතීන් අතර අවබෝධය හා සහජීවනය ඇති කරන්නට මද්රසා ඉදිරියෙන් සිට කටයුතු කරනු ඇතැයි මෙම සමුළුව ප්‍රකාශනයට පත් කර ඇත.
  10. වසර දහසක ඉතිහාසය තුළ මුස්ලිම්වරු මෙරටට සෙත සලසන, සාමය ආරක්ෂා කරන, එකමුතුව ජීවත් වන්නට ප්‍රිය කරන ජන සමූහයක් ලෙස සිටි බවත් ත්‍රස්ත ක්‍රියාවන් සඳහා පක්ෂව කටයුතු කර නොමැති බවත් පවසන්නට කැමැත්තෙමු. ඉදිරියටත් එලෙසම මුස්ලිම්වරු සිටිනු ඇතැයි ද එසේ අපි කටයුතු කරන්නෙමු යැයි ද මෙම සමුළුව තරයේ පවසා සිටියි.
  11. රටේ ඇති මාධ්‍ය ආයතන පුවත් සැපයීමේදී වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු අතර මාධ්‍ය ධර්මතාවන් පිළිපැදිය යුතු බවත් මෙම සමුළුව ඉල්ලා සිටියි.
  12. ජාතීන් අතර එකමුතුකම හා සමාජ යහපත මෙරට තුළ ඉදිරියටත් ආරක්ෂා කිරීමට රජය, පර්ලිමේන්තු සමාජිකයින්, ආගමික නායකයින්, සිවිල් සමාජය ජාති ආගම් භාෂා භේදයකින් තොරව කැපවීමෙන් කටයුතු කළ යුතු යැයි මෙම සමුළුව ඉල්ලා සිටියි.

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *