වර්තමානයේ මුහුණපාන අසීරු ආර්ථික තත්‍ත්වය හමුවේ මහජනතාව සඳහා වූ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්‌ගේ සභාවේ මාර්ගෝපදේශය

යොමු අංකය: ACJU/NGS/2022/077

2022 අප්‍රේල් මස 06 වෙනිදා

 

අපේ රටේ දිනෙන් දින බඩු මිල සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙන අතර, රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණපා තිබේ. එමෙන්ම භාණ්ඩ මිල දී ගැනීමේ දී දැඩි අපහසුතාවන්ට මුහුණදෙන බව පැහැදිලිව පෙනී යන කරුණකි.

මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් පැනනැගී ඇති විට, අල්ලාහ්ගේ ගැත්තන් වූ අපි ඔහුගේ උපකාරය හා අනුග්‍රහය පතා ඔහු දෙසට නැඹුරු විය යුතුය. මෙම තත්ත්වයෙන් ආරක්ෂිත වීම සඳහා නැමදුම, උපවාසශීලය, සදකා හෙවත් දන්දීම, දික්ර්, ඉස්තිඃෆාර්, දු’ආ යනාදී යහක්‍රියාවන් හරහා අල්ලාහ් වෙත ආධ්‍යාත්මිකව ළඟා විය යුතුය.

ඒ අනුව, වර්තමානයේ ආර්ථික මට්ටමින් සෑම දෙනාම මුහුණපාන අභියෝගවලට එරෙහිව කටයුතු කිරීමට ඉස්ලාමය අවධාරණය කරන මාර්ගෝපදේශයන් වර්තමාන තත්ත්වයට බොහෝ උපකාරී වේ. අර්බුදකාරී වාතාවරණයෙන් මිදී, ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට ද එකී මාර්ගෝපදේශ බොහෝ සෙයින් උදව් වනු ඇත.

  1. මෙලොව සියලු දේ සිදුවන්නේ අල්ලාහ්ගේ අභිමතය පරිදි ය යන බව සෑම විශ්වාසිකයෙකුම විශ්වාස කරමින්, අල්ලාහ්ගේ අනුග්‍රහය පමණක් පැතීම.

قُلْ لَّنْ يُّصِيْبَـنَاۤ اِلَّا مَا كَتَبَ اللّٰهُ لَـنَا هُوَ مَوْلٰٮنَا ‌ وَعَلَى اللّٰهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُوْنَ‏)  9:51 (

“(නබිවරය, ඔවුනට) නුඹ පවසවු. “අල්ලාහ් අපට නියම කළ දෑ හැර (වෙනත් කිසිවක්) අපට සිදුවන්නේම නැත. ඔහු අපගේ භාරකරුය. තවද විශ්වාසිකයින් අල්ලාහ් කෙරෙහිමය සියල්ල භාර කළ යුත්තේ.” (අල්-කුර්ආනය 9:51)

  1. අපේ සියලු කාර්යයන් පිළිබඳ වගකීම අල්ලාහ් වෙතටම භාර කිරීම.

وَمَنْ يَّتَوَكَّلْ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهٗؕ  (03:65 (

”කවරෙකු අල්ලාහ් කෙරෙහි (සියල්ල) භාර කරන්නේ ද ඔහුට ඔහුම(අල්ලාහ්ම) ප්‍රමාණවත්ය.” (අල්-කුර්ආනය 65:3)

  1. සියල්ලෝම, සෑම අවස්ථාවන්හිදී ම අල්ලාහ්ට බියබැතිමත්ව, ඔහුගේ අණට අවනත වෙමින් ජීවත් විය යුතු අතර, අල්ලාහ් විසින් තහනම් කර ඇති දේවල්වලින් මුළුමනින්ම ඉවත්ව සිටීම.

وَلَوْ اَنَّ اَهْلَ الْقُرٰٓى اٰمَنُوْا وَاتَّقَوْا لَـفَتَحْنَا عَلَيْهِمْ بَرَكاٰتٍ مِّنَ السَّمَآءِ وَالْاَرْضِ ) 7:96(

“ගම්වැසියන් විශ්වාස කොට බිය භක්තිමත් වූයේ නම් අහසින් හා මිහිතලයෙන් වූ අභිවෘද්ධීන්(හි දොරටු) අප ඔවුනට විවෘත කර දී ඇත්තෙමු.” (අල්-කුර්ආනය 7:96)

وَمَنْ يَّـتَّـقِ اللّٰهَ يَجْعَلْ لَّهٗ مَخْرَجًا  (65:2)  وَّيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ‌) 65:3(

“කවරෙකු අල්ලාහ්ට බිය භක්තිමත් වන්නේ ද ඔහු(අල්ලාහ්) ඔහුට (සියලු පීඩන වලින්) මිදීමට මග සලස්වන්නේය. ඔහු නොසිතූ අයුරින් ඔහු(අල්ලාහ්) ඔහුට (ඔහුගේ අවශ්‍යතාව) සපුරාලන්නේය.” (අල්-කුර්ආනය 65:2-3)

  1. පාපයන්ගෙන් මිදී, තව්බා සහ ඉස්තිඃෆාර් කිරීම.

اسْتَغْفِرُوْا رَبَّكُمْ اِنَّهٗ كَانَ غَفَّارًا (71:10)  يُّرْسِلِ السَّمَآءَ عَلَيْكُمْ مِّدْرَارًا  ‏(71:11)  وَّيُمْدِدْكُمْ بِاَمْوَالٍ وَّبَنِيْنَ وَيَجْعَلْ لَّـكُمْ جَنّٰتٍ وَّيَجْعَلْ لَّـكُمْ اَنْهٰرًا) 71:12(

”නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව ඇයැදිවු. සැබැවින්ම ඔහු අති ක්ෂමාශීලීය” යැයි පැවසුවෙමි. එවිට ඔහු නුඹලා වෙත අහසින් (වර්ෂාව අවශ්‍යය පරිදි) අධිකව පහළ කරන්නේය. ධනයෙන් ද පිරිමි දරුවන්ගෙන් ද ඔහු නුඹලාට අධිකව පිරිනමන්නේය. නුඹලාට වතු යායන්(වගාවන්) ඇති කරන්නේය. නුඹලාට ගංගා ද ඇති කරන්නේය. (අල්-කුර්ආනය 71:10-12)

සර්වබලධාරී අල්ලාහ් වෙතින් පාපක්ෂමාව අයැදීම තුළින් දුෂ්කරතාවලින් පිරුණු ජීවිතයකින් මිදීමට හැකි වන බව නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන්ගේ පහත දැක්වෙන රුවන් වැකියෙන් අවධාරණය කෙරේ.

عن عبد الله بن عباس رضي الله عنهما قَال : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : “مَنْ لَزِمَ الِاسْتِغْفَارَ جَعَلَ اللَّهُ لَهُ مِنْ كُلِّ ضِيقٍ مَخْرَجًا ، وَمِنْ كُلِّ هَمٍّ فَرَجًا ، وَرَزَقَهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ” رواه أبو داود ، وابن ماجه ، وأحمد

නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණෝ පැවසූ බව අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමාණෝ වාර්තා කරයි. “තමන් කළ පව්වලට පාපක්ෂමාව අයැදීමෙහි  (ඉස්තිඃෆාර්) නිතර නිරත වන යම් කෙනෙක් වේ ද, සර්වබලධාරී අල්ලාහ් ඔහුට සියලු අසීරුතාවලින් මිදීම සඳහා වූ මාර්ගයන් සහ දුක්-පීඩාවලින් සහනයන් ලබාදෙනු ඇත. තවද, ඔහු නොපැතූ දෙසින් ඔහුගේ අවශ්‍යතා සපුරාලනු ඇත.” (අබූ දාවුද්, ඉබ්නු මාජා, අහ්මද්)

  1. ඉවසීම සහ දේව නැමදුම තුළින් සර්වබලධාරී අල්ලාහ් වෙතින් උදව් පැතීම.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ ۚ إِنَّ اللَّهَ مَعَ الصَّابِرِينَ

“විශ්වාස කළවුනි, නුඹලා ඉවසීම හා සලාතය මගින් උදව් පතවු. සැබැවින්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමගය.” (අල් කුර්ආනය 2:153)

  1. ධනවතුන් හා සමාජ ක්‍රියාකාරීන් විසින් දුෂ්කරතා හා අවශ්‍යතා ඇත්තවුන් හඳුනා ගෙන ඔවුනට උදව් උපකාර කිරීම.

නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. “යමෙක් තම සහෝදරයෙකුගේ ගැටලුවක් / පීඩාවක් නිරාකරණය කර දෙන්නේ නම්, එකී උදව්ව සඳහා හිලව්වක් ලෙස, සර්වබලධාරී අල්ලාහ් එකී පුද්ගලයා පරලොව දී අත්දකින පීඩාවකින් සහනය ලබාදෙන්නේය.” (මූලාශ්‍රය: සහීහ් මුස්ලිම් 2699)

  1. මෙම අසීරු තත්ත්වය තුළ දී අසාධාරණ ලාභ උපයමින් ජනතාව අපහසුතාවට පත්නොකර, සාධාරණ ලාභ ලැබීමට ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කළ යුතුය. එය දුප්පතුන් සහ පීඩිත ජනතාවට කරන උපකාරයක් ලෙස ද සැලකෙනු අතර, අත්‍යාවශ්‍ය භාණ්ඩ ගබඩා කර සැඟවා තැබීමෙන් තොරව, ජනතාවගේ සුබසාධනය උදෙසා, සාධාරණ මිලකට විකිණීම.

روى جابر بن عبد الله رضي الله عنهما: أن رسول الله صلى الله عليه وسلم، قال: «رحم الله رجلا سمحا إذا باع، وإذا اشترى، وإذا اقتضى.  (صحيح البخاري:2076)

ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමාණෝ වාර්තා කරයි. “භාණ්ඩ විකිණීමේදීත්, මිලට ගැනීමේදීත්, ණය අයකර ගැනීමේදීත් තැන්පත්ව කටයුතු කරන අයට සර්වබලධාරී අල්ලාහ් ආශිර්වාද කරත්වා! යනුවෙන් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණෝ ප්‍රාර්ථනා කළහ.” (මූලාශ්‍රය: සහීහුල් බුහාරි 2076)

  1. මේ කාල වකවානුවේදී ආහාර, ඇඳුම් යනාදිය සඳහා සීමාව ඉක්මවා වියදම් නොකර, හැකි පමණින් අත්‍යාවශ්‍ය වියදම්වලට පමණක් සීමා කරගැනීම.

وَّكُلُوْا وَاشْرَبُوْا وَلَا تُسْرِفُوْا‌ ۚ اِنَّهٗ لَا يُحِبُّ الْمُسْرِفِيْن (7:31) ‏

“නුඹලා අනුභව කරවු. පානය කරවු. නාස්ති නොකරවු. සැබැවින්ම ඔහු(අල්ලාහ්) නාස්ති කරන්නන්ව ප්‍රිය නොකරන්නේය.” (අල්-කුර්ආනය 7:31)

  1. අනවශ්‍ය ගමන්-බිමන් සහ අනවශ්‍ය විනෝදාස්වාදවලින් සම්පූර්ණයෙන් වැළකීම.
  2. ව්‍යාපාරිකයන්, භාණ්ඩ විකුණන විට හා මිල දී ගන්නා විට විශ්වාසනීයත්වයෙන් හා සත්‍යවාදීත්වයෙන් ‍යුතුව කටයුතු කළයුතු අතර වංචා කිරීම, බොරු පොරොන්දු දීම, රැවටීම, භාණ්ඩවල අඩුපාඩු සඟවා විකිණීම, බාල බඩු විකිණීම වැනි වැරදි ක්‍රියාවලින් සම්පූර්ණයෙන් වැළකී සිටීම.

عَنْ أَبِي سَعِيدٍ رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: التَّاجِرُ الصَّدُوقُ الأَمِينُ مَعَ النَّبِيِّينَ، وَالصِّدِّيقِينَ، وَالشُّهَدَاءِ. (سنن الترمذي : 1209)

‘විශ්වාසනීය හා සත්‍යවාදී ව්‍යාපාරිකයා පරලොව දී නබිවරුන්, සත්‍යවාදීන් සහ තම ජීවිතය දහම වෙනුවෙන් කැප කළවුන් සමග සිටිනු ඇතැ’යි නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණෝ පැවසූ බව අබූ සඊද් (රළියල්ලාහු අන්හු) තුමාණෝ පැවසූහ. (මූලාශ්‍රය: අත්-තිර්මිදි 1209)

එසේ හෙයින්, ඉහත කී මාර්ගෝපදේශයන්ට අවධානය යොමු කර කටයුතු කරන මෙන් සමස්ත ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

සර්වබලධාරී අල්ලාහ්, මෙම අර්බුදකාරී තත්ත්වය සමනය කරත්වා!

 

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *