ශව්වාල් මස දින හයක් උපවාසශීලයේ යෙදීම සඳහා මගපෙන්වීම

ACJU/NGS/2021/072

2021.05.15 (1442.10.02)

 

සියලු ආදරණීයයන් වෙත!

අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකතුහු.

 

සර්වබලධාරී අල්ලාහ් තම ගැත්තන්හට අනිවාර්ය වූ නැමදුම් මෙන්ම සුන්නා හෙවත් නබිපිළිවෙත් වූ නැමදුම්ද ධර්මානුකූල කර ඇත. මන්දයත්, ගැත්තෙකු ඉටු කරන්නා වූ අනිවාර්ය නැමදුම්වල සිදුවන අඩුපාඩු ඒවා මගින් සපුරාලිය හැකි වන නිසාය. තවද යම් ගැත්තෙකු නබිපිළිවෙත් වූ නැමදුම් ඉටුකිරීම තුළින් සර්වබලධාරී අල්ලාහ් වෙත සමීප වන විට අල්ලාහ් ඔහුට ප්‍රියත්වය දක්වයි.

මේ අනුව, රමළාන් මාසයට පසුව උදාවන ශව්වාල් මස දින හයක් උපවාසශීලයේ නිරත වීම සුන්නා හෙවත් නබිපිළිවෙතකි. නබි මුහම්මද් (සල්) තුමාණෝ ඒ පිළිබඳව දිරිගන්වා එහි මහිමයන් ගෙනහැර පෙන්වා දී ඇත.

عن أبي أيُّوب الأنصاري رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: مَن صام رمضان ثم أتبَعَه ستًّا من شوَّال، كان كصيام الدهر. )صحيح مسلم : 1164

නබි මුහම්මද් (සල්) තුමාණෝ පැවසූ බව අබු අය්යූබ් අල්-අන්සාරි (රලි) තුමා වාර්තා කරයි. “රමළාන් මස උපවාසශීලයේ නිරත වී ඊළග උදාවන ශව්වාල් මස දින හයක්ද උපවාසශීලයේ නිරතවන්නා පුරා වසරක් උපවාසශීලයේ නිරත වූ අයෙකු මෙන් වෙයි.” (මූලාශ්‍රය : මුස්ලිම්,1164)

මෙම නබිවදනෙහි විග්‍රහය අනුව ශව්වාල් මාසයට අදාළ නබිපිළිවෙතක් වන දින හයක් උපවාසශීලයේ නිරත වීම සඳහා ඒ මස ආරම්භ දින හයෙහි නොකඩවා උපවාසශීලයේ නිරත වීම “මුස්තහබ්” වෙයි. තවද ආරම්භ දින කිහිපයේ හැර වෙනත් දිනවල නිරත වීම හෝ කඩවා නිරත වීම හෝ හැකි බව පුරෝගාමී විද්වතෙකු වන ඉමාම් නවාවි තුමාණෝ සඳහන් කරයි.

නමුත් ශව්වාල් මාසයේ ආරම්භ දින හයෙහි නොකඩවා උපවාසශීලයේ නිරත වීම වඩාත් උසස් ය. එමනිසා, හැකි අය එළෙසින්ම ඉටු කරන ලෙසත් නැතහොත් තම තමන්ගේ හැකියාවන්ට අනුව එම මාසය තුළ උපවාසශීලයෙහි නිරත වන ලෙසත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ඉල්ලා සිටියි.

සර්වබලධාරී අල්ලාහ්, අප සියලු දෙනාටම දින හයම උපවාසශීලයේ යෙදීමට නිරෝගී තත්ත්වයක් ලබා දෙත්වා.

 

අෂ්-ෂෙයික් එම්.එල්.එම්. ඉල්යාස්

ලේකම්, ෆත්වා කමිටුව,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *