ACJU/NGS/2022/011
2022.02.04
ශ්‍රී ලංකා මාතෘ භූමියේ 74 වන නිදහස් දිනය අප මේ මොහොතේ මහත් අභිමානයෙන් සිහිපත් කරන්නෙමු. පසුගිය වසර දෙකක් පුරාවට ලංකාව ඇතුළුව ලෝකයේ සියලු රටවලට මහත් අභියෝගයක් වූ කොවිඩ්-19 වසංගතය හා ආර්ථික අර්බුදය නොවිසඳී ඇති මොහොතක මෙවර 74 වන නිදහස් දිනය සිහිපත් කිරීමට එළැඹ සිටින්නෙමු.
දේශයේ නිදහස වෙනුවෙන් අප මුතුන්මිත්තන් ජාති හා ආගම් භේදයකින් තොරව තම දිවි පරදුවට තබමින් වෙහෙස වූහ. සියලු භේදයන් පසෙකලා නිදහස ලබා එම නිදහසට අනුව එක්සත්ව හා එක්සිත්ව ජීවත් වීම හා ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් සමෘද්ධිමත් රටක් බවට පත් කිරීම ඔවුන්ගේ එකම බලාපොරොත්තුව හා අභිලාෂය විය. එමනිසා, සෑම සමාජයක්ම තමතමන්ගේ අයිතිවාසිකම් භුක්ති විදිමින් රටේ උන්නතිය වෙනුවෙන් කැපවූහ.
වසර 74කට පෙර අප දේශපාලන වශයෙන් ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබා ගත්තද, වරින් වර ඇති වූ වාර්ගික කෝලාහල සහ ත්‍රස්තවාදී ප්‍රහාර සහ දේශපාලන බෙදීම් හේතුවෙන් අප තවමත් සිටින්නේ ආර්ථික පසුගාමී තත්ත්වයක ය. මෙයින් ගොඩ ඒම සඳහා ආධ්‍යාත්මික, ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් පොහොසත් වෙමින් අපේ රට ගොඩනැගිය යුතු යැයි අපි ආගමික නායකයින්, ප්‍රජා නායකයින්, දේශපාලනඥයින්, රාජ්‍ය බලධාරීන් සහ සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.
අප මව්බිම තුළ සියලු ජනසමාජයන් සමගියෙන් ජීවත්වීමටත්, රට සමෘද්ධිමත් වී නිදහස් නිවහල් දේශයක් ලෙස ලෝතලය තුළ ලංකාව බැබලීමටත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ප්‍රාර්ථනා කරයි.
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව