ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරයාහට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සුබපැතුම

Ref: ACJU/NGS/2024/382
2024.09.23 (1446.03.19)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ අතිගරු අනුර කුමාර දිසානායක මහතාට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව (ACJU) සිය හෘදයාංගම සුබ පැතුම පිරිනමයි.

මෙම සුවිශේෂී ජයග්‍රහණය අප මාතෘභූමියේ ජනතාව ඔබගේ නායකත්වය කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳ සාක්ෂියකි. ආසියාවේ පැරණිත ම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස, පුරවැසියන් විසින් තම නායකයා නිදහස් හා සාධාරණ ලෙස තෝරා පත් කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිත කර ඇති බව සඳහන් කිරීම වැදගත් කරුණකි.

ඔබගේ ධූර කාලය තුළදී මෙරට සියලු පුරවැසියන් සඳහා සාමය, සමෘද්ධිය සහ එකමුතුකභාවය සනිටුහන් වනු ඇතැයි අවංකවම බලාපොරොත්තු වන අතර ඒ වෙනුවෙන් අප අප සභාව ප්‍රාර්ථනා කර සිටිමු.

දයාලූ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ.

“ඔබේ යහපත්ම පාලකයා වනුයේ, ඔබ ‌ප්‍රේම කරන්නා සහ ඔබට ප්‍රේම කරන්නා වෙයි.” (මූලාශ්‍රය: සහීහ් මුස්ලිම්)

ඔබේ නායකත්වය යටතේ යුක්තිය, දයාව සහ ආගමික අගයන් ආරක්ෂා කරමින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ඇතුළු සෑම ආගමිකයෙකුට ම සහජීවනයෙන් එකට ජීවත් විය හැකි සමාජයක් පෝෂණය කරනු ඇතැයි අපි විශ්වාස කරයි.

අප සභාව, වසර සියයකට වැඩි කාලයක් පුරාවට මෙරටේ ඉස්ලාම් ආගමික හා සමාජීය කටයුතු සඳහා සැමවිටම ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇත. සෑම විටම නීත්‍යානුකූලව තේරී පත් වූ රජයන් සමඟ සමීපව කටයුතු කර ඇති අතර විශේෂයෙන්ම ප්‍රජාවන් අතර සමගිය සහ සහජීවනය ගොඩ නැංවීමටත් සහ මෙරට දේශ‌ප්‍රේමියත්වය සහ ජනතාවගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමටත් අත්වැල් බැඳගෙන ක්‍රියා කර ඇත.

මහා කාරුණික අල්ලාහ්, තම ආශීර්වාදය තුළින් ඔබට සහ ඔබේ කණ්ඩායමට මෙම දේශය දීප්තිමත් හා සමෘද්ධිමත් අනාගතයක් කරා ගෙන යාමට මග පෙන්වනු මැනව! ප්‍රඥාව සහ ශක්තිය දායාද කරනු මැනව!

අෂ්-ෂෙයික් මුෆ්ති එම්.අයි.එම්. රිස්වි

සභාපති

අෂ්-ෂෙයික් එම්. අර්කම් නුරාමිත්

මහලේකම්

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *