ACJU/NGS/2022/346
2022.10.09 (1444.03.12)
“නබි වරයාණෙනී! නුඹ තරම් ඉතා අලංකාර පුද්ගලයෙක් මගේ දෑසින් කෙදිනක හෝ දැක නැත්තෙමි. නුඹ තරම් ඉතා අලංකාර අයෙකු කිසිඳු කාන්තාවක් බිහි කර නැත. නුඹ ඉතා නිර්මලව සහ කිසිඳු අඩුපාඩුවකින් නිදොස්ව මවනු ලැබ ඇත. නුඹ කැමති පරිදි නොවේ ද? නුඹ මවනු ලැබ ඇත්තේ.” යනුවෙන් හස්සාන් බින් සාබිත් (රළියල්ලාහු අන්හු) තුමාණන් නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව වර්ණනා කළහ.
එතුමා ළමා අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, මනුෂ්‍යත්වය, අන්තර්-වාර්ගික සමානාත්මතාව සහ සහජීවනය වෙනුවෙන් සිය ජීවිතය කැප කර ඇත. සෑම අවස්ථාවකදීම දැහැමිව හා යුක්තිගරුකව කටයුතු කළ අතර දුප්පතුන්ගේ සහ අනාථයන්ගේ පහස විඳිමින් ඔවුන් සමඟ ජීවත් වූහ. ඔහු විසින් බහු වාර්ගික ප්‍රජාවන් ඇතුළත් සාධාරණ ප්‍රතිපත්තියක් වන ‘මදීනා ප්‍රඥප්තිය’ හඳුන්වා දෙන ලදී. එබැවින් ඔවුන් දහම හා ලෞකිකත්වය යන දෙඅංශයෙන්ම විශාල සාර්ථකත්වයක් අත්කර ගත්තෙහු. මානව ඉතිහාසයේ වඩාත්ම බලගතු පුද්ගලයා ලෙස නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් හඳුනාගනු ලබන්නේ එනිසා ය.
එබැවින් නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් උපත ලැබූ රබිඋනිල් අව්වල් මාසයට ඉමහත් සුවිශේෂත්වයක් ඇත. නබිතුමාගේ උපන්දිනය, මිලාදුන් නබි දිනය ලෙස ද හැඳුන්වන අතර එදින විශ්වීය වශයෙන් ප්‍රීතිය හා සතුට ප්‍රකාශ කළ හැකි ඉමහත් ඓතිහාසික වැදගත්කමක් ඇති සිදුවීම් සහිත දිනයකි.
‘රබීඋන්’ යනු වසන්තයයි. වසන්ත සමය භූමියට අලංකාරය, සශ්‍රීකත්වය හා සෞභාග්‍යය ගෙන එයි. එලෙසම, රබිඋන් මාසයේ උපත ලැබූ අපගේ ආදරණීය නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මුළු මිනිස් සංහතියටම ආශිර්වාදය, ආලෝකය, විමුක්තිය, ජයග්‍රහණය, සාමය සහ සමෘද්ධිය ගෙන ආහ.
අල්-කුර්ආනයේ මෙසේ සඳහන් වෙයි. “(නබිවරය,) සමස්ත විශ්වයන්ට දයාලුවක් වශයෙන් මිස අපි නුඹව (නබිවරයෙකු වශයෙන්) නොඑව්වෙමු.” (සූරා අල්-අන්බියා: 107)
සර්ව බලධාරී අල්ලාහ් නබිවරුන්ගේ අවසානයා ලෙස නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පත් කරමින් නබිත්වයට මුද්‍රා තැබූහ. ලොව අවසන් දින දක්වා වූ මානව සමූහයටම යහමග පෙන්වීමේ වගකීම එතුමන්ට පවරනු ලැබ ඇත. එබැවින්, නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මිනිස් ජීවිතයේ සෑම අංශයකම එකම මාර්ගෝපදේශකයා බවට පත් විය. එතුමාගේ මුළු ජීවිතයම මනුෂ්‍ය වර්ගයාට සුන්දර ආදර්ශවලින් පිරී තිබුණි. මෙම විෂය පිළිබඳව අල්-කුර්ආනය මෙසේ සඳහන් කරයි.
“සැබැවින්ම අල්ලාහ්ගේ රසූල්වරයා තුළ නුඹලාට අලංකාරවත් ආදර්ශයක් ඇත…” (සූරා අල්-අහ්සාබ්: 21)
නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් කැපවීම සඳහා අවම වශයෙන් හැකිතාක් සලවාත් සහ සලාම් උසුරීම, ඔහුගේ නම සඳහන් වන විට හෝ සවන් දුන් විට ගෞරවයෙන් සලවාත් පැවසීම, ඔහුගේ පවුලේ උදවියට (අහ්ලුල් බයිත්වරුන්ට) ගරු කිරීම, අල්-හදීස් ඉගෙන ගැනීම, සුන්නාහ් වූ එතුමන්ගේ වත් පිළිවෙත් අනුගමනය කිරීම සහ ප්‍රගුණ කිරීම සහ නබිතුමාගේ පෞරුෂ ලක්ෂණ කියවා අවබෝධ කර ගැනීමට කාලය ගත කිරීම, එතුමා පිළිබඳව අන් අය දුනුවත් කිරීම හා ඔවුන්ගේ වැරදි වැටහීම් දුරු කර ඔවුන්ට නිවැරැදි අවබෝධයක් ලබා දී නබිතුමා කෙරෙහි යහසිතුවිල්ලක් ඇති කරලීමට කටයුතු කිරීම ආදිය එතුමාගේ අනුගාමිකයින් වශයෙන් අපගේ යුතුකම සහ වගකීම වෙයි.
එබැවින් නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට අපගේ ජීවිතයට වඩා ආදරය කරමු. අපි ඔවුන්ගේ ජීවිත ගැඹුරින් අධ්‍යයනය කර ඔවුන් කෙරෙහි ආදරය සෙනෙහස අපේ දරුවන් තුළ ද ඇති කරමු.
සර්ව බලධාරී අල්ලාහ්, අප සැමට අවසාන දිනය දක්වා නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පෙන්වා දුන් මාර්ගයෙහි ජීවත් වීමට යොමු කරවා, ඔහු සමඟ ස්වර්ගයේ එකට ජීවත් වීමේ වරප්‍රසාදය ලබා දෙත්වා!
මුෆ්ති එම්. අයි. එම්. රිස්වි
සභාපති
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව