2024.08.23 දින, සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ගරු සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රභූවරුන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ විධායක විද්වතුන් සමග හමුවක් පැවතියහ.
එම පාර්ශ්වයෙන් කළ ඉල්ලීම මත එම හමුව සඳහා කාලය වෙන් කර දෙන ලදී.
මෙම රැස්වීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව වෙනුවෙන් අප සභාපති, මහලේකම්, උප සභාපතිවරු, සහකාර ලේකම්වරු හා විධායක කමිටු සාමාජිකයින් ද සහභාගී වූහ.
සමගි ජන සන්ධානය වෙනුවෙන් එහි නායක ගරු සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී අල්-හාජ් මුජිබුර් රහ්මාන් හා අල්-හාජ් එස්.එම්. මරික්කාර් යන මහත්වරු ඇතුළු ඇතැම් ප්‍රභූවරුන් ද එක්ව සිටියහ.
මෙම හමුවේදී, අප සභාපති මුෆ්ති එම්.අයි.එම්. රිස්වි තුමා සහ මහලේකම් අෂ්-ෂෙයික් එම්. අර්කම් නුරාමිත් තුමා අප සභාව පිළිබඳ හැඳින්වීමක් හා සේවාවන් පිළිබඳ ව පැහැදිලි කළ අතර, අප සභාව නිර්පාක්ෂික ලෙස ආගමික සීමාව තුළ සමස්ත ජනතාවට සමගියෙන්, සහජීවනයෙන් හා අවබෝධයෙන් ජීවත්වීමට සෑම විටම මගපෙන්වීම් ලබා දෙන සභාවක් බව ද පැහැදිලි කළේය.
තවද, ගරු සභාපති මුෆ්ති එම්.අයි.එම්. රිස්වි තුමා, “රටේ සියලුම පුරවැසියන්ට සෑම විටම අප හා සම්බන්ධ විය හැකි බවත්, සී.ජී. වීරමන්ත්‍රී මැතිතුමා විසින් රචිත “ඉස්ලාමීය නීති සංග්‍රහය – ජාත්‍යන්තර දෘෂ්ඨිකෝණයක්” යන ග්‍රන්ථය සහ ලෝනා දේවරාජ මැතිණිය විසින් රචිත “ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය (900 – 1915)” යන ග්‍රන්ථ ද, අප සභාව විසින් එළිදක්වන ලද “විවෘත දෑසින් ඉස්ලාමය”, “සමාජ සංවාද” පොත් පංච, “අන්තවාදියෙකු නොවන්න”, හා “මන්හජ්” (ආගමික කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය මුස්ලිම්වරුන් සඳහා වූ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ස්ථාවරය හා මගපෙන්වීම) යන ග්‍රන්ථ ද, සෑම මන්ත්‍රීවරයෙකු ම හා ආගමික නායකයෙකු ම කියවිය යුතු බව අවධාරණය කළහ. තවද පලස්තීන ජනයා ඇතුළු සමස්ත මානවයාට ම ජීවත් විය හැකි සාමකාමී ජීවන පරිසරයක් උදා විය යුතු යැ”යි ප්‍රාර්ථනා කළේය.
තවද “ඡන්දය ප්‍රකාශ කිරීම යනු වගකීමකි; මෙම කාරණයේදී ඡන්ද අපේක්ෂකයා සහ ඡන්ද දායකයා ඉතා අවධානයෙන් සහ වගකීමෙන් කටයුතු කිරීමට බැඳී සිටිය යුතු බව මහලේකම් අෂ්-ෂෙයික් එම්. අර්කම් නුරාමිත් තුමා සිය ප්‍රකාශයේදී පවසා සිටියේය.
සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා සිය කතාවේදී පක්ෂයේ දේශපාලන මූලධර්ම සහ තමන් කළ සමාජ මෙහෙවර පිළිබඳව පැහැදිලි කළ අතර සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව මගින් පවත්වා ගෙන යන සහජීවනය සඳහා වූ වැඩපිළිවෙළ සහ “සහජීවන මධ්‍යස්ථාන” පිළිබඳ ව ප්‍රශංසා කළ අතර ජාති, භාෂා, ආගමික හා වාර්ගික භේදයකින් තොර වූ පරිසරයක් උදා විය යුතු බව ද සිහිපත් කළේය.
හමුව අවසානයේදී, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවෙන් ප්‍රකාශයට පත් කරන ලද අල්-කුර්ආනයේ සිංහල පරිවර්තන සහ අනෙකුත් ප්‍රකාශන ප්‍රදානය කිරීම ද සිදු විය.