සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමයේ සිංහල බසින් අල් කුර්ආන් අර්ථ සංග‍්‍රහය එළිදැක් වූ උත්සවය

ජම්යියතුල් උලමා යැයි ප‍්‍රකට සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමයේ මුලිකත්වයෙන් වසර අටක කාලයක් මුළුල්ලේ සිදු කරන ලද ශුද්ධ අල් කුර්ආනය සරල සිංහල බසින් අර්ථ කථනය කිරීමේ මහගු කර්තව්‍යයේ සියලූ කටයුතු නිම වී එය එළිදැක්වීම උත්සවාකාරයෙන් පසුගිය 2019 අපේ‍්‍රල් 7 වන ඉරු දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සමුළු මණ්ඩපයෙහි පවත්වන ලදී.

අෂ් ෂෙයික් කාරි එම්.එච්.එම්. ෆිර්දවුස් තුමන් විසින් කළ අල් කුර්ආන් පාරායණය සමග ආරම්භ වුනු උත්සවයට සපැමිණි සියලූ අමුත්තන් සාදරයෙන් පිළිගනු ලැබුවේය. එයිනික්බිතිව පිළිගැනීමේ දේශනය පැවැත් වුයේ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමයේ උප සභාපති අෂ් ෂෙයික් ඒ.සි. අගාර් මුහම්මද් මැති තුමා විසිනි.

එයින් අනතුරුව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය හා සමීපව කටයුතු කරමින් සංගමයට නෛතික මග පෙන්වීමි හා උපදෙස් ලබා දෙමින් අමිල දායකත්වයක් ලබා දෙමින් සිටින ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තෆා මහතා සභාව ඇමතුවේය. එවිට අවශ්‍ය තැන්වල විග‍්‍රහද ලබා දෙමින් සරල බස් වහරකින් මෙම ශුද්ධ අල් කුර්ආන් අර්ථ සංග‍්‍රහය සිදු කර ඇති ආකාරයේ විශේෂත්වයන් එම මහතා කෙටියෙන් පැහැදිලි කළේය.

එයින් අනතුරුව නැගී සිටියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ මහාචාර්ය දයා අමරසේකර මහතාය. සභාව ඇමතු මහාචාර්යවරයා මෙම අල් කුර්ආන් අර්ථ සංග‍්‍රහය මුස්ලිම් ජනයා ගැන ඇති වැරදි මත තුරන් කරනු ඇත යැයි තම විශ්වාසය පළ කළේය. එමෙන්ම අනෙක් ජන කොටස් අතර ඇති ප‍්‍රශ්නවලට විසුම් සෙවිය යුත්තේ අන්‍යෝන්‍ය වැටහීම ඇති කිරීම මගින්ම යැයි ද එතුමා පෙන්වා දුන්නේය.

මහාචාර්යවරයාගේ විද්වත් අදහස් දැක්වීම්වලින් පසුව සංගමයේ අල් කුර්ආන් අර්ථ සංග‍්‍රහය සම්බන්ධව සම්පාදනය කරන ලද ශ‍්‍රව්‍ය දෘශ්‍ය පටයක් ප‍්‍රදර්ශනය කරන ලදී.

විඩියෝ විග‍්‍රහයෙන් පසුව උත්සවයේ කේන්‍ද්‍රීය කථනය සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමයේ සභාපති අෂ් ෂෙයික් එම්.අයි.එම්. රිස්වි මුෆ්ති තුමාණන් විසින් පවත්වන ලදී. සංගමය භාරගත් භාරදුර කටයුත්තේ විශේෂ අවස්ථා ගැන සංගමයේ එතුමා සඳහන් කළ අතර සිය කථාව නිම කරමින් දශකයකට ආසන්න කාලයක් පැවති මෙම අභියෝගාත්මක කර්තව්‍යයට උරදුන් සැමට සිය තුතිය පුදා නිසි දායාද ප‍්‍රදානය කරන මෙන් අල්ලාහ්ගෙන් අයැද සිටියේය.

එයින් අනතුරු මෙම ඓතිහාසික උළෙලේ උච්ච අවස්ථාව වු ශුද්ධ අල් කුර්ආන් අර්ථ සංග‍්‍රහයේ පිටපත් පැමිණ සිටි අමුත්තන්ට ප‍්‍රදානය කිරීම ආරම්භ වු අතර පළමු පිටපත සමස්ත ලංකා මුස්ලිම් ආගමික වියතුන්ගේ සංගමයේ සභාපතිවරයාගේ දෝතින් ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ශ‍්‍රී ලංකා ජනරජයේ ජනාධිපති අතිගරු මෛත‍්‍රිපාල සිරිසේන මැතිඳුන්ට පිළිගන්වන ලදී.

ශුද්ධ අල් කුර්ආන් අර්ථ සංග‍්‍රහයේ පිටපත් පිළිගැන්වීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අල්හාජ් ඉම්තියාස් බාකීර් මාකාර් මහතා සභාව ඇමතුවේය. බහු වාර්ගික දේශයක ලක්‍ෂණ ගැන අගනා අදහස් දැක්වීම් කිහිපයක් සිදු කළ මාකාර් මහතා අන්‍ය ආගම් ගැන දැනුවත් වීම සහජීවනයේ මුලික අවශ්‍යතාවක් යැයි අවධාරණය කළේය.

පසුව සභාව ඇමතු ජනාධිපති අති ගරු මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය කාලීන අවශ්‍යතාවක් ඉටු කර ඇත යැයි ස්වකීය හෘදයාංගම ප‍්‍රශංසාව පළ කළේය.

අවසාන වශයෙන් ස්තූති කථනය සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමයේ උප ලේකම්වරයෙකු වන අෂ් ෂෙයික් මුර්ෂිද් මුලෆ්ෆර් තුමන් විසින් සිදු කරන ලදි. එයිනික්බිති ගායනා කරන ලද ජාතික ගීයත් සමග උළෙලේ කටයුතු අවසන් විය.

මෙම ඓතිහාසික සංසිද්ධියට සහභාගී වු සියල්ලන්ටම එම සිංහල බසින් එළි දැක්වූ අල් කුර්ආන් අර්ථ සංග‍්‍රහය පිටපත බැගින් නොමිලේ බෙදා දෙන ලද අතර සංග‍්‍රහයක්ද අමුත්තන් වෙනුවෙන් සුදානම් කර තිබුනි. මෙම උළෙල සඳහා දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිට මුස්ලිම් ආගමික වියතුන් පමණක් නොව අන්‍ය ආගම්වල ප‍්‍රධානීන්ද ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටීම සුවිශේෂී කරුණක් විය.

 

මාධ්‍ය අංශය

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය

dd
ss
tt
gg
vv
null
fff
wq
io
mml
rraaa
ysc

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *