2022.06.18 (1443.11.17) දින සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ මහා සභා රැස්වීමේදී පහත කරුණු ප්‍රකාශයට පත් කරනු ලැබීය.
මේ ලෝකයේ සෑම දෙයක්ම සිදුවන්නේ සර්වබලධාරී අල්ලාහ්ගේ අභිමතයට අනුව බව සෑම මුස්ලිම්වරුයෙකුම විශ්වාස කර ඔහු වෙත නැඹුරු වීම අත්‍යාවශ්‍ය වේ. එබැවින් සෑම අවස්ථාවකදීම මුස්ලිම්වරුන් වන අපි යහපත් ක්‍රියාවන්හි නිරත වී ඔහුගේ තෘප්තිය උදෙසා උත්සාහ දැරිය යුතුය.
සමගිය
වසර දහසකට අධික කාලයක් පුරා මෙරට මුස්ලිම්වරු ‘අහ්ලුස් සුන්නති වල් ජමාඅත්’ යන ආගමික ප්‍රතිපත්තියට අනුව තම ආගමික වගකීම් හා පිළිවෙත් ඉටුකරමින් සිටියි.
ඉතිහාසය පුරාවට, බොහෝ තරීකා සහ ෆත්වා සංවිධාන මුස්ලිම්වරුන්ගේ අධ්‍යාත්මික, අධ්‍යාපනික, සදාචාරාත්මක සහ සංස්කෘතික සංවර්ධනය සඳහා ක්‍රියාකාරීව කටයුතු කර ඇත. මෙම සංවිධාන අතර යම් මතභේද, පරස්පර අදහස් පැවතියද මුස්ලිම් ප්‍රජාව අතර සමගිය ගොඩනැගීමේ අරමුණින් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව 2009.08.18 දින “සමගි ප්‍රකාශය” නිකුත් කරන ලදී.
පසුව, 2022.01.30 දින සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව විසින් මුස්ලිම් ප්‍රජාව සිය ක්‍රියාකාරකම් කොතෙක් දුරට සකස් කළ යුතුද යන්න පැහැදිලි කරමින් “මන්හජ්” හෙවත් (ඉස්ලාම් ආගමික කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය මුස්ලිම්වරුන් සඳහා වූ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ස්ථාවරය හා මගපෙන්වීම්) යන නමින් ප්‍රකාශයක් නිකුත් කරන ලදී.
මෙම ප්‍රකාශ දෙකෙහි අඩංගු කරුණු අනුගමනය කරමින් සමගියෙන් සහයෝගයෙන් කටයුතු කරන ලෙස අප සභාව මුස්ලිම් ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
සහජීවනය
අප මාතෘභූමිය වූ ශ්‍රී ලංකාව බහු වාර්ගිකයින් සහ බහු ආගමිකයින් ජීවත්වන රටකි. මෙහි ජාතීන් හා ආගමිකයන් අතර පවතින යහපත් සබඳතා මත රටේ සංවර්ධනය ප්‍රගතිය රඳා පවතින්නේය.
මුස්ලිම්වරුන් සහෝදර ප්‍රජාවන් සමඟ සහජීවනය ගොඩනගා ගත යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව විසින් 2012.12.27 දින නිකුත් කරන ලදී.
මෙම ප්‍රකාශයේ අඩංගු කරුණු අනුව සහෝදර ප්‍රජාව සමග සහජීවනයෙන් කටයුතු කරන ලෙස අප සභාව මුස්ලිම් ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
තරුණ ප්‍රජාව
සමාජයේ අඩිතාලම තරුණ ප්‍රජාවයි. ඔවුන්ට මගපෙන්වීම සමාජයේ සැම දෙනාගේම වගකීමකි. මේ අනුව තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආරක්ෂා කිරීම සහ මඟපෙන්වීම සඳහා දෙමාපියන්, ගමේ ප්‍රධානීන්, ආගමික විද්වතුන් සහ වෘත්තිකයින් වැනි සියලු පාර්ශ්වයන් රටේ නීතිය ආරක්ෂා කරමින් එක්ව කටයුතු කරන ලෙස අප සභාව ඉල්ලා සිටී.
තරුණ තරුණියන්ට අන්තවාදී චින්තනයෙන් ආරක්ෂා වීමට මුළු සමාජයම උපකාර කළ යුතුය. සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව විසින් තරුණ පරපුර අන්තවාදී චින්තනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ‘අන්තවාදියෙක් නොවෙමු’ යන මැයෙන් මාර්ගෝපදේශ ඇතුළත් අත්පොතක් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම ප්‍රකාශයේ අඩංගු කරුණු අනුව කටයුතු කරන ලෙස සමස්ත මුස්ලිම් තරුණ ප්‍රජාවගෙන් අප සභාව කාරුණිකව ඉල්ලා සිටී.
ආර්ථික අර්බුදය
මේ වන විට අපේ රට ආර්ථික අර්බුද රැසකට මුහුණ දී සිටින අතර භාණ්ඩ මිල ඉහළ යාම ජනතාවගේ දෛනික ජීවිතයට විවිධ ආකාරයෙන් බලපා ඇත.
- ආධ්‍යාත්මිකත්වය: සමස්ත මුස්ලිම් ප්‍රජාව සර්වබලධාරී අල්ලාහ්ගේ අණපනත්වලට අවනතව ජීවත්වන ලෙසත්, හලාල් (කැප) සහ හරාම් (අකැප) සංකල්පයට අනුව ක්‍රියා කරන ලෙසත්, ආර්ථික අර්බුදකාරී අවස්ථාවලදී ධාර්මික මඟපෙන්වීම් ක්‍රියාවට නැංවීම සඳහා ආගමික විද්වතුන් මගපෙන්විය යුතු බවත් අප සභාව කාරුණිකව ඉල්ලා සිටී.
- මිළ ඉහළ නැංවීම සඳහා භාණ්ඩ රැස්කර තබා ගැනීම, ඉහළ මිලට විකිණීම: මිළ ඉහළ නැංවීම සඳහා භාණ්ඩ රැස්කර තබා ගැනීම ඉස්ලාමය තහනම් කර ඇත. ව්‍යාපාරිකයින් විසින් මිළ ඉහළ නැංවීම සඳහා භාණ්ඩ රැස්කර තබා නොගත යුතු බවත් මිනිසුන්ට අපහසුතාවක් නොවන අයුරින් සාමාන්‍ය ලාභයක් මත අලෙවි කළ යුතු බවත් අප සභාව වෙළඳ ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
- නාස්තියෙන් වැළකීම: සෑම විෂයකදීම මධ්‍යස්ථ විය යුතු බවත් නාස්තියෙන් වැළකී සිටිය යුතු බවත් ඉස්ලාමය අවධාරණය කරයි. එබැවින් මෙවන් අර්බුදකාරී අවස්ථාවකදී මූලික අවශ්‍යතා වලින් සෑහීමට පත්ව නාස්තියෙන් වැළකී සිටින ලෙස අප සභාව සියලු පාර්ශ්වයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
- වගාව: මිනිස් ජීවිතයේ මූලික අවශ්‍යතාවලින් එකක් වන ආහාර ලබා ගැනීමේ මාර්ගයක් ලෙස බෝග වගාව සැලකේ. ඉස්ලාමය විවිධ ආකාරවලින් වගා කිරීම පිළිබඳව අනුබල දී ඇත. එබැවින් ඒ පිළිබඳ විශේෂිතයින්ගේ උපදෙස් අනුව අපගේ ගෙවතු සහ පොදු ස්ථාන වගා කටයුතු සඳහා යොදා ගන්නා ලෙස අප සභාව ඉල්ලා සිටියි.
- උපකාර කිරීම: රටේ පවතින මෙම අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජනතාව විවිධ ආකාරයෙන් පීඩාවට පත්ව සිටියි. මේ හේතුවෙන් වර්ග ආගම් භේදයකින් තොරව අසරණ අගහිඟකම් ඇති අය හඳුනාගෙන හැකි පමණින් ආධාර කිරීමට ඉදිරිපත් වන ලෙස ධනවතුන් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු සියලු දෙනාගෙන් අප සභාව ඉල්ලා සිටී.
ඉහත කරුණු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආගමික විද්වතුන්, ගමේ ප්‍රධානීන්, ප්‍රජා නියෝජිතයින්, මුස්ලිම් පල්ලි පරිපාලකයින්, වෘත්තිකයින් සහ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු සියලු දෙනාගෙන් අප සභාව කාරුණිකව ඉල්ලා සිටී.
මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව