අති උතුම් වූ නබි මුහම්මද් මුස්තෆා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට එරෙහිව කළ අපහාසාත්මක ප්‍රකාශ හෙළාදැකීමට සහ ශ්‍රී ලංකාවට ලබාදුන් මානුෂීය ආධාර සඳහා ස්තූති කිරීමට සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත පැමිණීම
මෑතකදී ලොව පුරා මුස්ලිම් ප්‍රජාව අතර කැළඹීමක් ඇති කරමින් අති උතුම් වූ නබි මුහම්මද් මුස්තෆා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට එරෙහිව කරන ලද අපහාසාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ගේ අතෘප්තිය සහ හෙළාදැකීම ප්‍රකාශ කිරීමට සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ මහලේකම් ඇතුළු දූත පිරිසක් ඊයේ (2022.06.09) ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවිය.
අප සභාවේ දූත පිරිසගේ කරුණු දැක්වීමෙන් අනතුරුව, ඉන්දීය මහකොමසාරිස්වරයා කියා සිටියේ බහු ආගමික ප්‍රජාව සහ අදාළ පක්ෂ නායකයින් විශේෂයෙන් එම දෙදෙනාට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් එය ඉන්දීය රජයේ ස්ථාවරය හෝ ඉන්දීය ජනතාවගේ ස්ථාවරය නොවන බවත්, ඉන්දියාව සැමවිටම බහු වාර්ගිකත්වයට ගරු කරන ආසියානු රටක් බවත් ය.
මෙවන් ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් තුළ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති මානුෂීය ආධාර සඳහා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සිය ස්තූතිය පළ කළ අතර ඉදිරියේදී සියලු ජනවර්ග අතර සහජීවනය ඇති කිරීමට කටයුතු කළ යුතු බවද ප්‍රකාශ කළේය.