සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සභාපති, නියෝජ්‍ය සභාපති, මහලේකම්, භාණ්ඩාගාරික, විධායක කමිටු සාමාජිකයන්, සහ කාර්යමණ්ඩලය ඔබ සැමට රමළාන් සුබපැතුම් මෙසේ පිළිගන්වයි!

ACJU/NGS/2022/081
2022.04.02 (1443.08.29)

السلام عليكم ورحمة الله وبركاته
අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු

 

අල්ලාහ්, මේ සඳ අප වෙත පායද්දී ඒ සමග ආරක්ෂාවත්, ඊමානයත් (නිසැක විශ්වාසය), ඉස්ලාමයත් අප වෙත ළඟාවීමට කටයුතු කළ මැනවි. (එම්බා සඳ!) ඔබේත්, මගේත් රබ් (පරමාධිපති) අල්ලාහ්ම වේ. මේ සඳ ඔබට මාර්ගෝපදේශ සහ හොඳ දේ රැගෙන පැමිණේවා)

යා අල්ලාහ්, මාව රමළාන් වෙත ලබා දී රමළාන් මා වෙත ළඟා වීමට සලස්වන්න. එය පිළිගත් පරිදි මගෙන් එය ලබාගන්න.

රමළාන් මාසය යනු සර්වබලධාරී අල්ලාහ් මුස්ලිම්වරුන්ට ලබා දුන් උතුම්ම ආශිර්වාදයකි. මෙම මාසය තුළ අල්ලාහ් තආලා අපට ශුද්ධ වූ කුර්ආනය මග පෙන්වීමක් ලෙස, යහපත හා අයහපත අතර බෙදුම් රේඛාවක් ලෙස ලබා දී ඇත්තේය. මෙම මාසය බොහෝ යහපත් දෑ ආශිර්වාදයන් හා වරම් ගෙන දෙන පින්බර මාසයකි.

අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු තුමා මෙසේ පැවසූ බව සඳහන් වේ: ”අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ ප්‍රකාශ කළහ:
‘සර්වබලධාරී අල්ලාහ් උපවාසයේ යෙදෙන මෙන් ඔබට නියෝග කළ, ආශිර්වාද ලත් රමදාන් මාසය ඔබ වෙත පැමිණ ඇත. ඒ මාසයේ දී ස්වර්ගයේ දොරටු විවෘතව පවතින අතර, අපායේ දොරටු වැසී පවතී. තවද, සෑම යක්ෂයෙකුම විලංගුවලින් බැඳ දමා තිබේ. අල්ලාහ් විසින් මාස දහසකටත් වඩා විශිෂ්ට රාත්‍රියක් එම මාසය තුළ දී පිරිනමා තිබේ; එකී රාත්‍රියේ විශිෂ්ටත්වය අහිමි වන්නේ කවරෙකුට ද, ඔහු අනිවාර්යයෙන්ම අහිමි වූවෙකුම වන්නේ ය.”‘ ( ඉබ්නු මාජා)

මෙම ශුද්ධ වූ මාසය තුළ දුෂ්කරතා සහ දුක්විඳින සියලු දෙනා වෙනුවෙන් අප යාච්ඤා කළ යුතුය.. නියත වශයෙන්ම, අල්ලාහ් අතිශයින්ම සාධාරණ වන අතර, අසමසම දයාවන්තයා ද වෙයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව සිහියේ තබාගන්නා අතරම, කරුණාවේ සහ නිර්ලෝභී බවේ ජීවගුණය පවත්වාගනිමින්, මේ ශුද්ධ වූ මාසයේ ආශිර්වාදය සියල්ලන් සමග බෙදාහදාගැනීමට උත්සාහ කරමු. නියත වශයෙන්ම, තමන් කැමති දෙය තම සොයුරා වෙනුවෙන් ද ලැබීමට ප්‍රාර්ථනා කරන තෙක් කෙනෙකුගේ ඇදහිල්ල පරිපූර්ණ නොවේ.

මෙම වසරේ රමළාන් මාසය ප්‍රයෝජනවත් ආකාරයෙන් ගත කිරීමට උත්සාහ කරමු. සර්වබලධාරී අල්ලාහ් තආලා කරුණාව, පව් කමාව සහ නිරා ගින්නෙන් මිදීම ලබා දී ඔහුගේ තෘප්තිය ලද පිරිස අතර අපවද එක්කරත්වා

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම් – සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *